නොරෝච්චෝල ආලංකුඩා ප්‍රාදේශයේ ඉඩමක නිදන් කැණීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණ අදාළ ඉඩමේ මුරකරු ඇතුළු සිවුදෙනෙකු 11 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් රම්සු රාෆී මහතා පෙරේදා (03) නියෝග කෙරුණී.
මෙසේ රක්ෂීත බන්ධනාගාරගත කළේ අදාළ ඉඩමේ මුරකරු බව කියන සැකකරුවෙකු හා ඔහු සමඟ මෙම ඉඩමේ කැණිම් සිදු කළ හා අනුබල දුන් බව කියන කල්පිටිය ප්‍රදේශයේ සැකකරුවන් තිදෙනෙකි.
අදාළ ඉඩම පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කරන මොහොමඩ් ඉක්බාල් මහතාට අයත් අක්කර 25කට ආසන්න බව පොලිසිය පවසයි.
අදාළ ඉඩමේ මුරකරු ලෙස කටයුතු කරන දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම ඉඩමට කපුවකු රැගෙනවිත් ඇති බවත් එහිදී මෙම ඉඩමේ කුවේණියගේ සෙම්බුව සඟවා ඇති බව පවසා සිටීමෙන් පසු එය සොයා කැණීම් සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
කපුවා වතු මුරකරුට පවසා ඇත්තේ කුවේණියට අයත් රනින් කළ සෙබ්බුව මෙම ඉඩමේ ඇති බවත් එය කැණීම් කිරීමෙන් පසු ගොඩ ගැනීමට හැකි බවය.
කෙසේ නමුත් අදාළ කැණීම් කරමින් සිටියදී නොරෝච්චෝල පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොරෝච්චෝල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එස්. ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබේ.
තම ඉඩමේ මුරකරු ඇතුළු පිරිස නිදන් සොයමින් කැණීම් සිදු කරන බවට පුත්තලම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කරන මොහොමඩ් ඉක්බාල් මහතා පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය පවසයි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ