යුද හමුදාවේ සේවය කරන දෙදෙනෙක් එකම දිනයක එකම ආකාරයට ගම්පොළ සිය නිවෙස් තුළ එල්ලී සියදිවි හානිකරගෙන තිබේ. විසිඑක් හැවිරිදි තෙල්ගේ ලසන්ත පීරිස් ගම්පොළ උනම්බුවේ නිවසේත් 42 හැවිරිදි ජයසිංහ දේවලයාගේ චන්ද්‍රපාල පල්ලේ දෙල්තොට සිය නිවසේත් මෙසේ සියදිවි හානිකරගෙන තිබුණි.
මොවුන් දෙදෙනාම යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්ලාය.
යුද හමුදා ඉංජිනේරු බළකා පල්ලේකැලේ කඳවුරේ සේවය කළ ලසන්ත පීරිස් මියගියේ යුද හමුදාවේ එකට සේවය කරන පිරිස එල්ල කරන දැඩි පීඩනය දරා ගැනීමට නොහැකිව බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලීන් ඒ. මැදිවක මහතා ඉදිරියේ ඔහුගේ මව හා පියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කරන ලදී. හමුදා කඳවුරේ අය මොහුගෙන් නිතර නිතර මුදල් ඉල්ලා සිදු කරන බලපෑම් හේතුවෙන් එම මුදල් සොයා දීමට ලසන්ත මවගේ රන් භාණ්ඩ පවා උකස් කර ඇති බවද මෙහිදී අනාවරණය විය. මොහුගේ විසිඑක් වන උපන් දිනය පසුගිය මස 23වැනිදා සිය නිවසේදී මහ ඉහළින් සමරා ඇති අතර, ඊට පහුවදා හමුදා කඳවුරෙන් ලැබුණ දුරකතන ඇමතුම් අනුව එම පිරිස් හට සාදයක් නොපැවැත්වීම පිළිබඳව මොහුට දැඩි ලෙස දෝෂාරෝපණය හා තර්ජනය කළ බව ද මෙහිදී මව පවසා සිටියේ පැමිණි දුරකතන අංක ද පෙන්වමිනි.
මොහුගෙන් බලෙන් මුදල් ලබාගැනීම ඇතුළු විවිධ බලපෑම් නිසාම මොහු උනම්බුව නිවස තුළදී සිය දිවි නසාගෙන සිටියදී පසුගිය පළමු වන දින සොයාගෙන තිබුණි. මේ පිළිබඳව මරණ පරීක්ෂණය පැවැත්වූ නලින් මැදිවක මහතා පැමිණ සිටි යුද හමුදා පොලිසියට අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි සිද්ධීන්ගෙන් යුද හමුදාවේ විනය පිළිබඳව ගැටලු මතුවන බවත් බාල වයස්කරුවන් හට දරා ගැනීමේ සීමාවක් ඇති බවත් පැවසූ නලීන් මහතා ඉහළ නිලධාරීන් මේවා සොයා බැලිය යුතු බවද සඳහන් කළේය. පල්ලේදෙල්තොට පදිංචි හමුදා සෙබළා නිවාඩුවට නිවසට පැමිණ සිටියදී ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් සිය දිවි නසාගෙන ඇති බව පරීක්ෂණ පැවැත්වූ ගලහ පොලිසිය පැවසීය. දෙදරු පියෙකු වූ ඔහු බිරිය සමඟ ඇතිවූ ආරවුලක් සමඟ ගලහ පොලිසියට පැමිණ තිබූ අතර, නිවසට ගොස් පළවෙනි දින අලුයම මෙසේ සිය නිවෙස තුළ එල්ලී මියගොස් තිබුණි.
මෙහි මරණ පරීක්ෂණය පාතහේවාහැට හදිසි මරණ පරීක්ෂක බී. ජී. ආරියරත්න මහතා විසින් පැවැත් වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. පී. පී. සේනසිංහ මහතා විසින් සිදු කරන ලදී.
මෙම මරණ දෙකම ගම්පොළ පොලිස් කොට්ඨාසය තුළ සිදු වූ අතර, එකම දින එකම ආකාරයට ද සිදුවී තිබුණි.
ගම්පොළ සමූහ-සුරංග දිල්හාන්