Home » වන අලි නවමිල්ලාන වෙල්යාය වනසති

වන අලි නවමිල්ලාන වෙල්යාය වනසති

by sachintha
December 5, 2023 1:00 am 0 comment

දිඹුලාගල නවමිල්ලාන වෙල්යායට පෙරේදා (03) අලුයම කඩාවැදුණු අට දෙනකුගෙන් පමණ යුත් වන අලි රංචුවක් එම යායේ අක්කර 750කට ආසන්න පැළ ගොයම පාගා විනාශ කර ඇති බව නවමිල්ලාන ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීහු සඳහන් කරති.
සෝමාවතිය සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් පැමිණ දිඹුලාගල ඉද්ද පිච්ච වැව ඉස්මත්තේ සහ දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ පහළොස්දෙනකුගෙන් පමණ යුත් වන අලි රංචුව නිරන්තරයෙන්ම තම ගොවි සංවිධාන සාමාජිකයන්ගේ ගෙවතුවලට සහ කුඹුරුවලට පැන දැඩි හානි සිදු කරන බව සරණ බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති අමිල චාමින්ද විජේරත්න මහතා සඳහන් කළේය. ගම්මානයට සහ කුඹුරු යායට කඩා වැදුණු එම වන අලි රංචුව අක්කර දෙකහමාරකින් පමණ යුත් කෙසෙල් වගාවක් සහ ගම්මානයේ පොල් ගස් හතළිහකට පමණ හානි සිදු කර ඇති බවද ගොවීහු සඳහන් කරති.
මේ පිළිබඳව වනජීවී නිලධාරීන් කොතෙක් දැනුම්වත් කළද ඔවුන්ට වාහනවල පැමිණීමට ඉන්ධන නොමැති බව පවසමින් තම ප්‍රශ්න හා ගැටලුවලින් මඟහරිමින් වන අලි පලවා හැරීමට නොපැමිණෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ දිවා රාත්‍රී දෙකෙහිම සැරිසරන මෙම වන අලි රංචුව හේතුවෙන් තම දරුවන්ගේ මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙන අතර, තමන් කන කර උගසට තබා වෙහෙස මහන්සියෙන් වගා කරගත් කුඹුරුවල පැළ ගොයම් මේ අයුරින් විනාශ වීමෙන් පසු නැවත ඒවා සකසා ගැනීමට ආර්ථික මට්ටමක් නොමැති බවද ගොවීහු කියා සිටිති.
තම ගම්මානය සහ වෙල්යාය වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට දිඹුලාගල නවමිල්ලාන ප්‍රදේශයේ තමන් විසින් ඉදිකරන ලද විදුලි වැටද අලි කඩා විනාශ කර ඇති බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ සිදුවන අලි මිනිස් ගැටුම අවම කිරීමටත් දිඹුලාගල කන්ද අවට රක්ෂිතයේ සැරිසරන වන අලි රංචුව පළවා හැරීමට වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් නවමිල්ලාන ගොවීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව අප වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ නිලධාරීන්ගේ හිඟය මෙන්ම අලි වෙඩි ලැබීමේ අඩු තත්ත්වය හේතුවෙන් සෑම ගමක්ම ආවරණය කිරීමට තමන්ට ඉන්ධන පහසුකම් නොමැති බැවින් වන අලි තර්ජනය උග්‍ර වී ඇති බවයි.
සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT