Home » කොන්දොස්තරට බරපතළ තුවාල කළ කල්ලිය – පැය දොළහෙන් අත්අඩංගු වට

කොන්දොස්තරට බරපතළ තුවාල කළ කල්ලිය – පැය දොළහෙන් අත්අඩංගු වට

by sachintha
December 5, 2023 1:53 am 0 comment

අනතුරකින් තරුණයකු මිය යාමට කළ පළිගැනීමක්

අනතුරකින් තරුණයකු මිය යාම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස පිටකොට්ටේ පාගොඩ පාරේ දී බස් කොන්දොස්තරවරයෙකු ට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ බව කියන ඥාති සොයුරන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩු දෙකක් සහ මන්නා පිහියක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධය සිදුවී පැය 12ක කාලයක් තුළ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා පැවැසීය.

බරපතළ තුවාල ලද නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අසේල ජෝශප් නැමැති 23 හැවිරිදි කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

තුවාල ලද කොන්දොස්තරවරයා මාර්ග අංක 176 කරගම්පිටිය හෙට්ටියාවත්ත පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා ලෙස රැකියාව සිදුකරන අතර පෙරේදා (3) අලුයම පහට පමණ රැකියාව සඳහා පැමිණ බස් රථය පිරිසුදු කිරීමේ යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරුවන් තිදෙනා තියුණු ආයුධවලින් පහර දී පළා ගොස් තිබිණි.

මෙම වසරේ අප්‍රේල් 25 වැනි දින තුවාල ලද කොන්දොස්තරවරයා ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටිය දී යතුරු පැදියකින් ගමන් කරමින් තිබූ තරුණයකු අනතුරට ලක්ව මියගොස් තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහුගේ ඥාති සොයුරන් විසින් මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. ඒ බව පවසා කොන්දොස්තරවරයා ගේ මව ද පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටකෝට්ටේ බැද්දගාන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය

සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රබාත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT