Home » විදෙස්ගතව සිටින අය පවා ඔන්ලයින් යටතේ වරිපනම් ගෙවීමෙන් කෝටි 54 ඉක්මවන ස්ථාවර තැන්පතු මහරගම නගර සභාව සතුයි

විදෙස්ගතව සිටින අය පවා ඔන්ලයින් යටතේ වරිපනම් ගෙවීමෙන් කෝටි 54 ඉක්මවන ස්ථාවර තැන්පතු මහරගම නගර සභාව සතුයි

by sachintha
December 5, 2023 1:01 am 0 comment

– හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර

මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා රවටා ව්‍යාපෘතිවලින් අයථා මුදල් හම්බ කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට වත්මන් ලේකම්වරයාගේ ක්‍රියා කලාපය අරමුණු ඉටුකර ගැනීමට බාධා වීම නිසා ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් බියගන්වා තර්ජනය කොට අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වන කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවාය.

මහරගම නගර සභාව විසුරුවා හැරීමෙන් පසුව විදෙස්ගතව සිටින අයට පවා ඔන්ලයින් යටතේ වරිපනම් ගෙවීමට නගර සභාවේ ලේකම්වරයා පියවර ගැනීම නිසා, ඉකුත් මාස අටක කාලය තුළ රුපියල් මිලියන 150ක ස්ථාවර තැන්පතු වැඩිකර ගැනීම නිසා, මේ වන විට රුපියල් කෝටි 54 ඉක්මවන ස්ථාවර තැන්පතු නගර සභාව සතුව පවතින බව හිටපු නගරාධිපතිවරියක වන කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවාය.

කාන්ති කොඩිකාර මහත්මිය එසේ පැවසුවේ මහරගම නගර සභාව විසුරුවා හැරීමෙන් පසුව කටයුතු කරන ලේකම්වරයා, මුදල් අවභාවිතා කරමින්, දූෂණ වංචා සිදු කරන බවට නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීම නිසා, නගර සභාවේ පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා හිටපු නාගරික සභිකයින් වන කාන්ති කොඩිකාර, නිශාන්ත විමලචන්ද්‍ර, අමරපාල වන්නිආරච්චි සහ සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූ මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් කතා කරමින් කාන්ති කොඩිකාර මහත්මිය මෙසේ පැවසුවාය.

දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රීයව තිබුණු වාහන ප්‍රතිසංස්කරණය කර, නගරයේ කසළ ඉවත් කිරීමට ලබාදීම නිසා කුලී මුදල් ගෙවා ලබාගත් වාහන ඉවත් කිරීමට මෙසේ චෝදනා කරන ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

එපමණක් නොවෙයි, සභාව සතු මාර්ග, ප්‍රජාශාලා සහ කානු පවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔහු පියවර ගෙන තිබෙනවා.

එහිදී හිටපු නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා මෙසේ පැවසීය. පසුගිය කාලයේ මහරගම නගර සභාවේ දූෂණයට එරෙහිව සභාවේ පමණක් නොව එළියෙන් මම හඬ නැඟුවා. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමෙන් පසුව විසුරුවා හැරිය සභාවේ වත්කම් ලේකම්, මූල්‍ය දූෂණයක් සිදු කළා නම් අපි මාධ්‍ය සංදර්ශන පවත්වමින් තැන තැන කැලෑ පත්‍ර අලවන්නේ නැහැ, ඔහුට එරෙහිව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා.

 

කොට්ටාව – ප්‍රදීප් කුමාර

උදේනි චන්ද්‍රසිරි – මහරගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT