Home » කටු මැටි පැලක වැස්සට තෙමි තෙමි ජීවත්වන ලෝක බේස්බෝල් ක්‍රීඩකයා

කටු මැටි පැලක වැස්සට තෙමි තෙමි ජීවත්වන ලෝක බේස්බෝල් ක්‍රීඩකයා

by sachintha
December 5, 2023 1:01 am 0 comment

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට ලෝක බේස්බෝල් කණ්ඩායමකට තේරීපත් වූ එකම ක්‍රීඩකයා තවමත් වැස්සට තෙමි තෙමි කුඩා කාමර දෙකක් ඇති පුංචි පැලක දුෂ්කර ජීවිතයක් ගත කරන පුවතක් දඹුල්ල වෑවල වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

කුලී වැඩ කරන මවුපියන් මෙම දක්ෂ ක්‍රීඩකයා නිර්මාණය කොට කඳුළු සලමින් සිටියත්, තම දරුවා පිළිබඳව සතුටු වෙමින් ජීවත් වේ. ලෝකයේ රටවල් 128ක තරගකරුවන් සමඟ ක්‍රීඩා කළ මෙම ග්‍රාමීය ක්‍රීඩකයා බේස් බෝල් යුනයිටඩ් විසින් ඩුබායි හි සංවිධානය කරනු ලබන කීර්තිමත් ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලියේ ලෝක බේස්බෝල් කණ්ඩායමට එක්ව ක්‍රීඩා කළේය.

ලෝක බේස්බෝල් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් පස් දෙනෙකු මුලින් තෝරා ගෙන තිබූ අතර, අවසානයේ මෙම ක්‍රීඩකයා පමණක් තේරී පත්ව ලෝක කණ්ඩායමට ක්‍රීඩා කළේය. ලෝකයේ රටවල් 128 කින් තෝරා ගැනීම් සිදු කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි. මෙම බේස්බෝල් තරගාවලියේදී අති වේගයෙන් ධාවනය වන හා පිටියේ ගුවනේ පාවෙමින් පන්දු රකින ඔහු සතු විශේෂ කුසලතා හේතුවෙන් ඔහු ප්‍රසිද්ධ විය.

ඒ සංචාරයෙන් පසු පැමිණි දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචි දිලිප් හසාන් සෙනෙවිරත්න ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ ජනතාව පසුගියදා දඹුල්ල බස් නැවතුම්පොළේ දී සූදානම් කොට තිබිණි.

එම පිළිගැනීමේ උලෙළ සඳහා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන රැසකට ආරාධනා කළ ද දඹුල්ල පොලිසිය හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන තම ගමේ ලොව දිනූ ක්‍රීඩකයා පිළිගැනීමට නොපැමිණි බව සංවිධායකයෝ දැඩි වේදනාවෙන් යුතුව පැවසූහ. ඊට හේතුව ලොව දිනු මෙම ක්‍රීඩකයා කුලී කම්කරු පන්තියේ දරුවෙකු වීම නිසා බව වෑවල වැව ජනතාව පවසති.

යුද හමුදාවේ සේවය කරන දිලිප් හසාන් සෙනෙවිරත්න දඹුල්ල වෑවල වැව මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් විදුහලේ බේස්බෝල් කණ්ඩායමට ඇතුළත්ව ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගී වූ ක්‍රීඩකයෙකි. ක්‍රීඩකයා ජීවත්වන කටුමැටි ගැසූ කුඩා කාමර දෙකක් ඇති නිවසේ ඔහුගේ කුඩා මලනුවන් සහ නැඟණිය ද සිටිති. නිවසේ ඇත්තේ කැඩුණු ඇඳක් පමණි. නිවාඩුවට පැමිණිදා වැස්සට තෙමි තෙමී කුස්සියේ රැය පහන් කරයි. මව, පියා සහ සහෝදර සහෝදරිය බිම් පැදුරු එළාගෙන නිදා ගනිති.

නිවසට රැස්ව සිටි ප්‍රදේශවාසීන්ගේ එකම ඉල්ලීම වූයේ මෙම ලෝක මට්ටමේ ක්‍රීඩකයාට ජීවත්වීම සඳහා කුමන හෝ ආකාරයෙන් නිවසක් තනා ගැනීම සිදු කළ යුතු බවය. ඒ සිහිනය සැබෑ කර ගැනීම උදෙසා ඇති හැකි අයගේ සිත් පහළ වන්නේ නම් ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට ඔහුට තව තවත් අගනා ධෛර්යයක් වනු ඇත.

දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT