Home » තීරණාත්මක ක්‍රිකට් නඩුව අද

තීරණාත්මක ක්‍රිකට් නඩුව අද

by sachintha
December 5, 2023 1:00 am 0 comment

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව 5 වැනි වරටත් කල් තැබූ නඩු විභාගය අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, අද දිනයේදී මේ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබිණි.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අවසන් වරට පසුගිය 27 වැනිදා සලකා බැලුණි.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කොට දින කිහිපයක් ගතවෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන මැදිහත්වීම් ඇතැයි තාවකාලික ජාත්‍යන්තර තහනමක් පැනවිය.

අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තාවකාලික තීරණය එහි විධායක මණ්ඩල රැස්වීමේදී ස්ථීර කිරීමට කටයුතු කළේය. මෙමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන අරමුදල් සැපයීම දැඩි පාලනයකට යටත් කිරීමට තීරණය වූ අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකාවට ද්වි පාර්ශ්වික ක්‍රිකට් තරගාවලි සහ අයිසීසී තරගාවලි යන ඉසව් දෙකෙහිම ජාත්‍යන්තරව තරග කළ හැකි බව විධායක කමිටුව තීරණය කළේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT