Home » චැම්පියන්ස් ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයට අවිනිශ්චිතයි

චැම්පියන්ස් ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයට අවිනිශ්චිතයි

by sachintha
December 5, 2023 1:00 am 0 comment

තරගාවලිය නැත්නම් විශාල වන්දියක් ඕනෑ: පාකිස්තානයෙන් කොන්දේසි රැසක්

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාව සහභාගී නොවුණහොත් අයිසීසීයෙන් විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානම් වේ. නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබියදී ඉන්දියාව සහභාගී නොවීමෙන් ඇතිවූ හානිය චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අත්වීඳීමට සූදානම් නැතැයි පාකිස්තානය සඳහන් කර තිබේ.

කෙසේ වුවද ආරක්ෂක තත්ත්වය අනුව බොහෝ කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීමට ඉදිරිපත් නොවීමෙන් 2025දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයෙන් ගිලිහී යාමේ ඉඩකඩක් මතුවෙමින් පවතී.

මෙවැනි පසුබිමක් තුළ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ සත්කාරක අයිතිය වෙනුවෙන් තමන් සමඟ ගිවිසුමක් අත්සන් කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති අතර, අයිසීසීයට තරගාවලිය සම්බන්ධයෙන් ඒක පාර්ශ්වික තීරණවලට එළැඹිය නොහැකි බව පැහැදිලි කර ඇත.

ආරක්ෂක හේතූ මත ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ස්වාධීන ආරක්ෂක ඒජන්සියක් පත් කළ යුතු බවත්, ඉන්දියාව හැර සහභාගී වන අනෙක් කණ්ඩායම්වල ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම එම ආයතනය හරහා සිදුවිය යුතු බවත් පෙන්වාදී තිබේ. එවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කරන ස්වාධීන ආරක්ෂක ඒජන්සියට පාකිස්තාන රජය සහ පාකිස්තාන ආරක්ෂක බලධාරීන් සම්බන්ධ කරගත හැකි බව පෙන්වාදී තිබේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා එංගලන්තය වැනි රටවල් පාකිස්තානයේ ටෙස්ට් හා සුදු පන්දු තරගාවලි පැවැත් වූ හෙයින් ආරක්ෂක තත්ත්වයේ ප්‍රශ්න ඇති නොවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇත. එවැනි තත්ත්වයක් තුළ ආසියානු කුසලානයේදී මෙන් ඉන්දියාව පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් එය බලවත් අසාධාරණයක් බව පෙන්වාදී තිබේ.

මේ අතර ඉන්දියාව නැවතත් ආරක්‍ෂක සහ දේශපාලන හේතූන් මත පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමේ දැඩි ඉඩකඩක් පවතින බවට කරුණු අනාවරණය වෙමින් පවතී. ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ හෙයින් අවසන් මහා තරගය ඇතුළු තරග කිහිපයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සිදුවිය.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ ඉල්ලීම මත දෙමුහුන් ආකෘතියකට පරිවර්තනය වූ අතර, මේ හේතුවෙන් තරග සංවිධානයේදී අමතර ගුවන් ගමන් ඇතුළු විශාල වියදමක් දැරීමට සිදුවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියේය. එබැවින් එම පාඩුව පියවා ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි ඉල්ලීමට පාකිස්තානය කටයුතු කළේය. තරගාවලිය හදිසියේම ශ්‍රී ලංකාවට රැගෙන ආ බැවින් ගුවන් යානා කුලියට ගැනීම වෙනුවෙන් පමණක් ඩොලර් 281,000ක් (රුපියල් 92120342ක්) ගෙවීමට සිදු වූ බව පාකිස්තානය අයිසීසිය වෙත දැනුම් දී තිබිණි.

මේ අතර, චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ ගැටලු නිර්මාණය වන පසුබිමක අයිස්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලිය සංවිධානය කිරීමට කැමැත්ත පළ කළ බව සඳහන් වේ. අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම කර ඇත්තේ විහිළුවක් ලෙසින් බවත්. ලෝක ක්‍රිකට් කවයේ සිදුවන ඇතැම් සිදුවීම්වලට හාස්‍යජනක පිළිතුරු ලබාදීම අයිස්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කලක සිට සිදු කරන්නක් බව සඳහන් වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT