ඉදිරි වසර පහේ ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් වෙළා ගන්නා බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. කළුඅග්ගල ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට පෙරේදා (04) එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
ඒ අනුව පන්ති කාමරයට ඩිජිටල් අඩිතාලමක් ලෙස අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව අගමැතිවරයා කීවේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
තව අවුරුදු පහක් යන්න පෙර ඩිජිටල් තාක්ෂණය මුළු රටම වෙළා ගන්නවා. ඒ කාලය ඇතුළත දී බොහොම වේගයෙන් අධ්‍යාපනය, පන්ති කාමරය පවා වෙනස් වෙනවා. අද වෙනකොට දහදාහක් පමණ ලංකාවේ පාසල් සහ රාජ්‍ය පාසල් තිබෙනවා. ගුණාත්මකභාවය වැඩි කරන්න, එහි ඇති අර්ථය වඩාත් ශක්තිමත්ව දායාද කරන්න පුළුවන් ගුරු පරපුරක් අඛණ්ඩව බිහිකර ගැනීම සඳහා වූ නායකත්වය අපේ රටට අවශ්‍යයි.
ගිය වසර අපි ගත කළේ බොහොම අමාරු තත්ත්වයකයි. දැන් අපි ආර්ථිකය පණ ගන්වා තිබෙනවා. පාසල් එකින් එක වැඩ ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහට පණ ගන්වාගෙන යනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව ඔබට අපේ දරුවන්ට තිබෙන ලොකුම හයියයි. තොරතුරු තාක්ෂණය ඇතුළු නව දැනුම පාසල්වලට ලබා දීමට දරන උත්සාහයට සහ එහි ප්‍රතිඵලයක් හැටියට මේ පාසලටත් ඒ දම්වැලට එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. ඉදිරි කාලයේදී අපේ දරුවන් ඒ ප්‍රයෝජනය ගෙන මේ නව අභියෝගයේ ප්‍රධාන සාධකයක් වී තිබෙන තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියටම ගමන් කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.
පාසලක පටන්ගත් දිනයේ සිට පැමිණ තිබෙන අවුරුදු ගණන සඳහන් කරනවාට වඩා මෙතැනින් කොපමණ දරුවන් ඉගෙනගෙන පිටවී ගොස් රටට, සමාජයට සේවය කරනවා ද කියන දේ පාසලට මහත් ආඩම්බරයක්.
මේ පාසලේ පළමුවෙන්ම බොරළුගොඩ රාලහාමි ලියාපදිංචි කරන්න ගෙනාවේ නීතිඥ හැරී ගුණවර්ධන අපේ ලොකු තාත්තා. ඒ සමඟම ආව පිලිප් ගුණවර්ධන මහත්තයා. දැන් රංජිත් ගුණවර්ධන මහත්තයා ඉන්නවා. හැරී ගුණවර්ධන මහතාගේ ආදරණීය පුතා. ඒ වගේම අපි පිලිප් ගුණවර්ධන මහතාගේ දරුවන් හැටියට මමත් ගීතාංජන මහතාත්, ඒ වගේම මුනුබුරා හැටියට යදාමිණී ගුණවර්ධන මහතාටත් නිරන්තර සහයෝගය මේ පාසලට ලබා දීමට පුළුවන්කම ලැබී තිබෙනවා.
බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාමාධිපති හෙවෙල්වල ඤාණානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් සභාවේ ලේකම් ප්‍රදිප් යසරත්න මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
නුවන් කොඩිකාර