Saturday, May 10, 2025
Home » අධි ධාරිතාවේ යතුරුපැදි දැඩි කොන්දේසි යටතේ ලියාපදිංචියට නිර්දේශ වාර්තාවක් සකසන්න ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුලගෙන් ආයතන නිලධාරීන්ට උපදෙස්

අධි ධාරිතාවේ යතුරුපැදි දැඩි කොන්දේසි යටතේ ලියාපදිංචියට නිර්දේශ වාර්තාවක් සකසන්න ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුලගෙන් ආයතන නිලධාරීන්ට උපදෙස්

by sachintha
December 6, 2023 1:01 am 0 comment

මෙරට පවතින නීත්‍යානුකූලව ලියාපදිංචි කර නැති අධි ධාරිතාවෙන් යුත් (එන්ජින් ධාරිතාව 450cc සිට ඉහළ) යතුරුපැදි නියමානුකූල ලෙස ලියාපදිංචි කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කඩිනමින් කරුණු පරීක්ෂා කර බලා, නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සති කීපයේ ලබාදෙන ලෙස ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන අමාත්‍යංශය හා ඒ හා සබැඳි අනිකුත් ආයතනවල නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

මීට පෙර අවස්ථා කීපයක දී මෙරට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි හිමිකරුවන් විසින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ සම්බන්ධිකරණයෙන්,ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව, විවිධ ක්‍රමවලින් මෙරටට ගෙන්වා මෙතෙක් ලියාපදිංචි කර නැති මෙවැනි අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචිය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අතර ඊට අවශ්‍ය නිර්දේශ ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව,මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව අදාළ කමිටුව වෙත ඇමැතිවරයා උපදෙස් දුන්නේ මීට පෙර අවස්ථා කීපයකදී මෙවැනි අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචිය සඳහා දී ඇති අවස්ථාවල නීති-රීති රෙගුලාසි පිළිබඳවද අවධානය යොමු කරමින්,අනාගතයට පූර්වාදර්ශයක් නොවන පරිදි දැනට මෙරට පවතින පන්දහසක් පමණ වන මෙවැනි යතුරුපැදි පමණක් දැඩි නීති රීති කොන්දේසි යටතේ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සියලු දෙනා විසින් සාකච්ඡා කර ඉදිරි සති කීපයේ ඉදිරිපත් කරන ලෙසයි. විශේෂයෙන් විවිධ රාජ්‍ය ආයතනවල නීති රීති පැනවීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතා හේතුවෙන් විවිධ ආකාරයේ ක්‍රමවේදවලින් යතුරුපැදි පමණක් නොව විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ඇතුළු වන බවත්, මේ පිළිබඳ නිසි ක්‍රමවේදයක් කලාපයේ අනිකුත් රටවල භාවිතා වන නීති රීති පිළිබඳවද සැලකිල්ල යොමු කරමින් කාලීන අවශ්‍යතාවක් වන බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විවිධ කාලසීමාවලදී විවිධ ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද අධි ධාරිතාවයෙන් යුතු යතුරු පැදි 5000ක්‌ පමණ මේ වන විට දිවයින පුරා විවිධ පුද්ගලයන් සතුව පවතින බව මේ සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. නමුත් නියමිත ආකාරයේ කිසිම බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති මේ යතුරුපැදිවලට රජය නියම කරන කොන්දේසි යටතේ, අදාළ බදු මුදල් ඇතුළු ගාස්තු ගෙවීමකින් අනතුරුව ලියාපදිංචි සඳහා අවසරය දෙන ලෙස අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි හිමියන් විසින් මෙහිදී ඉල්ලීමක් සිදු කෙරිණි. ඒ තුළින් රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා මෙන්ම, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී එන්ජින් ධාරිතාව දහස ඉක්මවූ යතුරුපැදි සඳහා ද ලියාපදිංචි ලබාදීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතින අවස්ථාවක දැනට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පවතින යතුරුපැදි ලියාපදිංචියෙන් ඇතැම් අවස්ථාවල විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද නිසි නියාමනයක් කළ හැකි බවට මෙහිදී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ පිළිබඳව පවතින නීතිමය තත්ත්වය කරුණු පරීක්ෂා කර පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ සහ අවශ්‍ය අණ පනත්වලට අවශ්‍ය සංශෝධන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාවක් සකස් කර මේ යතුරුපැදි ලියාපදිංචියට අනුමැතිය ලබාදීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස ඇමැතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන,ප්‍රවාහන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, පොලිස් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යංශය ආයතනවල නිලධාරීන් සහ අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි හිමිකරුවන් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT