කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන “මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය” ජනගත කිරීම ඊයේ (2023.12.04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන මහත්වරු අදාළ ණය යෝජනා ගිවිසුම් හුවමාරු කර ගැනීම මෙහි දී සිදුකරන ලදි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රු.බිලියන 5ක මුදලක් වෙන්කර ඇති අතර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වේ. තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර තිබිය යුතුය.( අවම වශයෙන් පසුගිය මාස තුන තුළ)
මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා වේ. ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 ක් වේ. මේ සඳහා පසුගිය මාස 3ක් ඇතුළත සිදු කරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2න් අඩු අගය අදාළ කරගත යුතු වේ.