මෙවර ද නත්තලට පසුදා, පෝය දිනය යෙදී තිබේ. බොක්සිං ඩේ හෙවත් දෙසැම්බර් 26 වෙනිදා පෝය දිනයක් යෙදුණු 2004 වසරේ කරදිය මත්තේ හමා ආ, චණ්ඩ රළ හමුවේ, රටවල් දාහතරක, ජීවිත දෙලක්ෂ තිස්දාහක් නැතිව ගියහ.
පේපෑල් ආයතනයේ සේවය කරන ලද හලි, ස්ටීව් චෙන් සහ ජාවඩ් කරීම් යන තිදෙනාට, මේ සුනාමි දර්ශන හුවමාරු කර ගැනීමට අවශ්‍ය විය. අහම්බයෙන් රූගත කෙරුණු සජීවී දර්ශන සේම, සුනාමියෙන් පසු විලාප නඟන මනුෂ්‍ය ප්‍රජාව ද මාධ්‍ය විසින් සමාජයට මුදා හරින ලදි. ඒ සියල්ල සංවේදී හදකින් නරඹන මිනිස්සු සලිත වූහ. වුණේ මොන වින්නැහියක් ද යන්න ඒ ඒ භාෂාවෙන් ඔවුහු කියන්නට වූහ.
පෙන්සිල්වෙනියාහී ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ හලි ද ඉලනොඉඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ චෙන් සහ කරීම් ද සැන් ෆ්‍රැන්සිස්කොහි ද චෙන්ගේ ලැගුම්හලේදී ඩිනර් පාටියක් දැමීමට තීරණය කළහ. කරීම්ට ‘සෙට් වෙන්නට එන්නට’ බැරි විය. දෙදෙනා මේ පාටිය වීඩියෝ කරන ලද්දේ ‘වැඩේට ඒමට නොහැකි වූ’ කරීම්ට පෙන්වීම සඳහාය. මේ පාටියේ වීඩියෝ දර්ශන කරීම්ට ‘සෙන්ඩ්’ කරන්නට ගොස් දෙදෙනා ‘ලෝක අමාරුවකට’ වැටුණාහ. එවන් බයිට් ප්‍රමාණයක් ඒ කාලයේදී මේල් හෝ වෙනත් මාර්ගයකින් සෙන්ඩ් කිරීම පහසු නොවීය. සුනාමි දර්ශන සහ ඩිනර් පාටිය, ඔන්ලයින් ඔස්සේ හුවමාරු කිරීමට ඇති අවුල තේරුම් ගත් තිදෙනා ‘ඔන්ලයින් ඩෙටිං සර්විස්’ වැඩක් ආරම්භ කළහ. සික්වියා කැපිටල් නම් සමාගමක් පිහිටුවා ආරම්භ වූ මේ වීඩියෝ හුවමාරුව සඳහා නමවූයේ ‘යූ ටියුබ්’ය.
‘සත්තු වත්තේ දී මා’යන නමින් අප් ලෝඩ් කරන ලද මුල්ම යූටියුබ් වීඩියෝව කරීම්, සැන්ඩියාගෝ සතුන් වත්තේදී ගන්නා ලද්දකි. 2005 අප්‍රේල් 23 වන දින එය සයිබර්
අවකාශයට උඩුගත විය. යූටියුබ් ආරම්භ කළ, ඒ වීඩියෝව තවමත්, කාටත් නැරඹිය හැකිය. වසරකට පසු බලන විට, දිනකට වීඩියෝ දර්ශන 6500ක් පමණ මෙහි පාත්‍ර වර්ගයා උඩුගත කළේය. දැන් නම් යූටියුබ්හි වීඩියෝ මිලියන 800කට වඩා තිබේ.
යූටියුබ් යන්න අද මුදල් සෙවීම සඳහා වන එක් මාර්ගයකි. මේ රටේ නිකම්ම සිට හරි හම්බ කරන කල්ලි දෙකක් වේ. එක් පිරිසක් උදේ, දවල්, රෑ යන තුනම කන්නේ තරු පහේ අවන්හල්වලදීය. කොළඹ තිබෙන රැස් විහිදෙන හෝටල්හි ලොබියේ දවස ගෙවන එවැනි සෙට්, ඩීල්කරණයේ කෙළ පැමිණියෝ වෙති. ඕනෑම ටෙන්ඩරයක්, ප්‍රොජෙක්ට් එකක් සඳහා මේ ඈයෝ මැදට එන්නාහ. මේ රටේ දූෂණය නැති කිරීමට මුලින්ම කළ යුත්තේ, ඔය ‘මැද’ හිස් කිරීමය. අනික් පිරිස වනාහි යූටියුබ් ආදිය අල්ලාගෙන සමාජ මාධ්‍ය, ආදායම් මාර්ගය කරගත් වුන්ය. කලා නිර්මාණ, සංවාද ආදී වැදගත් දේ සහ විනෝදාස්වාදය සඳහා වැඩසටහන් ඉදිරිපත් කරන පිරිස යූටියුබ් ආදායම් මාර්ගයක් කර ගන්නේ නමුදු එයින් කිසිවෙක් වෙත හානියක් නැත්තේය. දැනුම සහ විනෝදය යනු මිනිසාගේ ‘එක් කෑම වේලකි’. ඒවා නැති වෙනවා කියන්නේ, මිනිසා යම් තරමකට සත්ත්ව චර්යා සඳහා හුරු වෙන බවය. එහෙම වැඩක් සිදු කර, ගාණක් හම්බ කර ගැනීම නම්බුකාරය. වැදගත්ය. ඔය අස්සේ, අප්සට් අශ්වයෝ ද රේස් එකට එන්නාහ.
දෙපැත්ත කැපෙන කතා පමණක් කියන එවුන්, හෙළුව මාකට් කිරීම සඳහා සින්දුවේ ඉඳන් ඉන්ටර්විව් ආදිය අප්ලෝඩ් කරන පිරිස, රටේ නැති කතා හදා, ප්‍රසිද්ධ චරිත සඳහා මඩ ගසන අය, දේශපාලන න්‍යාය පත්‍ර හෝ එන්ජීඕ ගේම් සඳහා රටේ මහජන මතයට බයිලා පොම්ප කරන අයවලුන් ආදිය ඒ ගණයට අයත්ය.
මේ තීරුවේ අද මාතෘකාව සඳහා ප්‍රවේශ වීම පවා පිළිකුල්සහගත බැවින් මේ තරමට වැඩේ ඇදගෙන ගියේ වුවද, තවදුරටත් කතාව කියන්නේ නැතිව ඉතිරි හරිය සඳහා යා නොහැක්කේය. වැල්ලව, බල්ගහගෙදර ප්‍රදේශයෙන් ඇසෙන මේ කතාව, අප ජීවිත කාලයේ අසන මේ ජාතියේ අවසන් කතාව විය යුතු යැයි ප්‍රාර්ථනා පෙරදැරිව, විස්තරය කිව යුතුය.
ඉන්කම් සෝස් එකක් ලෙස යූටියුබ් නාළිකාවක් පටන් ගත් අයෙකු හිතන්නේ, වැඩේ හිට් කර ගත්තා කියන්නේ ඩොලර් ගලා එන බවය. ඔහොම කතා අසා තිබුණාට, යූටියුබ් නාළිකාවක් ඒ ගානට හිට් කර ගන්නවා කියන්නේ ලේසි නැත. ‘මැණිකේ මගේ හිතේ’ වගේ නැඟලා යන වැඩක් සිය චැනල් එකේ ද කිරීම, මේ චැනල්කාරයෝ සියලු දෙනාගේ කැමැත්තය. ඒ කැමැත්තේ අවුලක් නැත. අවුල ඇත්තේ ඒ උත්සාහයන් මැණිකේ මගේ හිතේ වැනි මියුරු ගීත නොව, අපුල සීන් බැවිනි. එක්කෝ නාන කාමර, හෝටල් කාමර ආදිය හොරෙන් වීඩියෝ කර දමන වීඩියෝය. මේ ට්‍රෙන්ඩ් එක කොච්චර දුර ගොස් ද කිවහොත්, කාන්තාවක් දැන් ඇඳුම් කඩේක ෆිටෝන් රූම් එකට යන්නේ ද වට පිට උඩ පහළ දෙස විනාඩි පහක හයක, විපරමක් දමාය.
‘වැල්ලව, බල්ගහගෙදර හිට් මාරයා’ ද යූටියුබ් නාළිකාවක් පටන් ගත්තේය. මේකා මුල සිටම සීදේවි පත්තරේ වන් චැනල් එකක් කිරීමට උත්සාහ කළ අයෙකි. නිරුවත් කාන්තා දර්ශන දමා, චැනල් එක හිට් කර ගැනීමට ඔහු ට්‍රයි එක දුන්නත්, එවැනි ඔරිජිනල් සීන් ගැනීම, මේ වන් පඟරෙකුට පහසු නැත. මේකාට පහසු මඟක් හමු වුණේය. ගෙදර දොරේ ඇති දෙයින් කෑමක් බිමක් හදා ගන්නා ආකාරය කියා දෙන චැනල් සේ, මේකා සිය අසමජ්ජාති නාළිකාව සඳහා තෝරා ගත්තේ, දා හතර හැවිරිදි තමන්ගේම දියණියය. ඔය වයසේ ළමයෙක් ගැන එහෙම දෙයක් ඔළුවට එනවා කියන්නේම, ඒ සතා සිටිය යුත්තේ කූඩුවකය. මේකා කැමරාවක් ගෙන දියණියගේ වීඩියෝ බලෙන් ගැනීම සඳහා වැර වෑයම් කළ ද, ඒ අහිංසක දැරිවි සහ අම්මාගේ විරෝධය උඩ, ට්‍රයි එක සුම්මා විය. චැනල් එක හිට් කර ගැනීම, මේකාගේ හීනය හෙයින්, වැඩේ අතහැරියේ නැත.
ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් මුළු කතාව කියා ඇති බැවින් ඒ අපුල කතාව යළි යළිත් මේ තීරුව ලියන්නේ නැත.
ඔය වගේ වැඩ දැන්, දිගටම සිද්ධ වෙන්නේය. තමන්ගේ නිරුවත හැකි පමණ ටික් ටෝක් ඔස්සේ පෙන්වන මේ නියාකාරියෝ ද බහුලය. ඒ ගැන වගකිව යුතු අංශ ප්‍රශ්න කළ හොත් ‘මේක ආණ්ඩුවේ ද කියා’ මරදානේ වීදි ළඳුන් සේ මේ සෙට් එක ද අසන්නාහ. මේ ජාතියේ ලෙඩ්ඩු දුටු තැන ගාල් කළ යුතු හෙයින් සමාජ මාධ්‍ය සඳහා වන නියාමනය වහ වහා ගෙන ආ යුතුය. සුනාමි වීඩියෝ අප්ලෝඩ් කර ගැනීම නිමිත්ත කරගෙන, ඇතිවූ යූටියුබ්, අපේ සමාජයේ ඊළඟ සුනාමිය ඇති කරනා තෙක් කර බාගෙන සිටිය නොහැකි හෙයින් මේ සිද්ධියෙන්ම වැඩේ පටන් ගත යුතු යැයි දැනට නවතිමු.