තම ජීවිතයේ කිසි දිනෙක ශ්‍රී පාදය වන්දනා කර නැති ඉස්කෝලේ මහත්තයෙක් විසින් ශ්‍රී පාදය ගැන අමරණීය බෞද්ධ ගීතයක් රචනා කොට, එයට තනුව නිර්මාණය කොට සංගීතය අධ්‍යක්ෂණය කළ ගීතයක් ගැන ග්‍රැමෆෝන් යුගයෙන් වාර්තා වෙයි. මේ ගීතයේ ගේය පදය මෙසේය.
“මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
ශ්‍රී ශාන්ති කරුණා ගුණ ආනන්දේ ලැබිලා
පිහිටෙන් සුමන සුරින්දේ සිතු පැහැදී
ළීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැඟී පල් පඩි ගණිමින්
තුන් සරණේ පිහිට පතාලා
සන්තොසිනේ ඉන් පිටත් වෙලා
මේ ගීතයේ නිර්මාතෘවරයා වූයේ යූ.ඩී. පෙරේරා නොහොත් “යූ.ඩී. මාස්ටර්” ය. ඔහු ප්‍රවීණ සංගීතඥයෙකි. සිංහල පාඨශාලාචාර්යවරයෙකි, ගේය පද රචකයෙකි. කීර්තිමත් ගුරුවරයෙකු මෙන්ම උප විදුහල්පතිවරයෙකි. තම පියා වූ යූ.ඩී. මාස්ටර් ගැන මතකය අවදි කරමින් දියණියක් වන චම්පා පෙරේරා දිසානායක වරක් මට කලකට පෙර මෙසේ කීය.
“තාත්තා ජීවිතේට ශ්‍රී පාදය වන්දනා කරලා තිබුණේ නෑ. ගෙදර හාන්සි පුටුවක හිඳගෙන ශ්‍රීපාදය සිතින් මවාගෙන මේ ගීතය ලිවුවා කියලා අපට කියලා තිබුණා. තාත්තා පොත්පත්වලින් ද වන්දනාවේ ගිය වන්දනාකරුවන්ගෙන් ද අසා දැනගත් තොරතුරු ඇසුරෙන් මේ ගීතය ලිවුවේ අපරිමිත භක්තියෙන්. ගීතය ගැයුවේ ග්‍රේටා ජෙනට් ප්‍රමුඛ ගායක පිරිසක්. මේ ගීතයට තාත්තා ආදරය කළා.”
1902 පෙබරවාරි 02 වැනිදා උපන් උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා, බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ උපන්නේ හත් දෙනෙකුගෙන් යුත් සහෝදර සහෝදරියන් අතරින් වැඩිමහල් දරුවා හැටියටය.
තම පියා හැමවිටම තමා උපන්ගම වීදාගම ගැන ආඩම්බරයකින් කතා කළ බවත් ලෝවැඩ සඟරාව, හංස සන්දේශය, බුදුගුණ අලංකාරය වැනි ශ්‍රේෂ්ඨ පොත් ලියූ වීදාගම හාමුදුරුවන් උපන් පින්බර බිමක උපන් බව ආඩම්බරයෙන් කිට්ටු මිත්‍රයන් සමඟ පවසනවා දැක ඇතැයි යූ.ඩී. පෙරේරා මාස්ටර්ගේ පුතෙකු වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා අප සමඟ පැවසීය.
නිසඟ කුසලතා
යූ.ඩී. මාස්ටර් කුඩා කළ මුහුදු වෙරළේ වැලිපිල්ලේ අකුරු ලියලා, පානදුරේ මාලමුල්ලේ බෞද්ධ මිශ්‍ර පාසලින් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍ය ගුරුවරයකු ලෙස රත්මලානේ ධර්මාලෝක විද්‍යාලයේ හා ගොනාකෝවිල ශ්‍රී අර්ථදස්සි විද්‍යාලයේ උප විදුහල්පති ලෙස සේවය කොට, කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට (අද තර්ස්ටන් විද්‍යාලයට) බැඳුණේ වැඩිහිටි වයසේදීය. (1937 – 38) වසරවල ගුරු විද්‍යාලයේදී තමාට වඩා වයසින් වසර 11ක් බාල කථිකාචාර්යවරයකු වූ යූ.ජී.පී. ද සිල්වා මහතා යූ.ඩී. ශිෂ්‍යයාගේ නිසඟ කුසලතා වටහා ගත්තේය. Free Word Project යටතේ යූ.ඩී. ළමා ගීත කිහිපයක් ලියලා තනු නිර්මාණය කරලා ගුරුවරයාට පෙන්වා ඇත. මේ එක් ගීතයකි.
“නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු
ලස්සනයි පුරා හෙඳ් රැස් විහීදිලා
නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ රැස් විහීදිලා
මල් විසිරිලා වගේ තාරකා සිරී
ලස්සනයි පුරා හඳේ රැස් විහීදිලා”
ගීතය රසවිඳි ගුරුවරයා තම ශිෂ්‍යයාගේ ගීතය ගැයීමට තෝරා ගත්තේ දයාවෙනි. තම ශිෂ්‍යයන්ට අභ්‍යාස විදුහලෙන් ඉගෙනීම අවසන් කොට ළමුන්ගේ රසවින්දනය දියුණු කිරීමට මේ ගීතය භාවිත කරන ලෙස උපදෙස් දුන්නේය. ගෝලයාවූ යූ.ඩී. නිර්මාණය කළ “නිල් අහස් තලේ” ගීතය මුලින්ම ගායනා කළේ ගුරුතුමා වූ යූ.ජී.පී. සිල්වා මහතාය. 1922 දී යූ.ඩී. පෙරේරා විසින් ලියූ “පැණි උරා බිබී මලේම ඉන්නේ ඇයි සමනලයෝ” ප්‍රථම වරට ගුවන් විදුලි ගීතය එකල ජනප්‍රිය වූ බව පැවසේ. යූ.ඩී. ගේ සංගීතයට තිබූ ඇල්ම ගැන ඔහුගේ දියණිය චම්පා අපට පැවසුවේ මේ කතාවය.
“තාත්තා සංගීතය පැත්තට නැඹුරු වුණේ ගුරු විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ හිටිය ප්‍රකට සංගීතඥයකු හා නාට්‍ය නිෂ්පාදකයෙක් වූ බී.එල්. බෝධිපාල මහත්තයගෙන්. එතුමා ප්‍රකට කවියෙකු වූ උපනන්ද බටුගෙදරගේ පියා. පානදුරේ පදිංචිව සිටි බෝධිපාල මහත්තයාගේ ගෙදර ගිහින් ගිලන්ව සිටි එතුමාව නාවලා, කවලා පොවලා, සාත්තු කරලා තාත්තා ගෙදර එන්නේ. තාත්තාට ස්වර ලිපි ලියන්න කියලයි දීලා තියෙන්නේ ඒ ගුරුවරයා. ගුරුවරයා කී ලෙස තාත්තාට පදමාලා ලියන්න පුහුණු කරලා තියෙන්නේ ගීතය මුහුදු වැල්ලේ විසි තිස් පාරක් ලියවලා ලු.”
කිහිප වතාවක්ම ඉන්දියාවට ගිය යූ.ඩී.ට ශ්‍රී රාජ පුචාවලී බායි, සමින්ද ඛාන් වැනි විශාරදයන්ගේ උපදේශනයෙන්, සිය සංගීත ඥානය ප්‍රගුණ කර පෙරළා දිවයිනට පැමිණි බව වාර්තා වෙයි. 1938 සිට 1951 දක්වා කොලොම්බියා හා ඕඩියන් ග්‍රැමෆෝන් ගී තැටි කොළඹ කාර්යාලයේ දී තැටිගත කිරීමේ දී ගීත ප්‍රබන්ධය, කොට ඒ ගීත සඳහා ශිල්පීන් තෝරා ගැනීම, පුහුණු කරවීම හා පරිපාලනය භාරව සිටි මේ කාලයේ ඔහු විසින් ගායනා කළ මුල්ම ගීතයයි මේ.
“රුවින් පුරම් ගුණෙන් උතුම්
සෝමාදේවී
සෝමා දේවී ඒ ප්‍රේම ශ්‍රියාවි”
යූ.ඩී. මාස්ටර්ට සිය අනාගත සහකාරිය හමුවන්නේ කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයේ එකම පන්තියේ දීය. ඇගේ නම සෝමාවතී මන්ත්‍රීරත්න.
“මගේ තාත්තා මේ ගීතය ලියා ඇත්තේ 1945 වසරේ දී. තාත්තා අම්මා ගැන තියෙන ආදරය නිසා මේ ගීතය වඩාත් හොඳට රචනා කරන්න දුන්නේ සහෝදර ගීත රචකයකු වූ චන්ද්‍රසේන වීරසේකරට. ගීතයට සංගීතය නිර්මාණය කරලා තාත්තාත් ගැයුවේ සහාය ගායක ගායිකා පිරිසක් සමඟ. තාත්තාගේ හඬින් ගැයූ මේ ගීතය වෙළෙඳ පොළට එන කාලයේ අම්මා ඉගැන්වූයේ කෑගල්ලේ මොලගොඩ පාසලක. දවසක් පාසලේ විදුහල්පතිනිය අම්මට කිවුවලු – “ අන්න සෝමා ගැන ලියපු සින්දුවක් පිටකොටුවේ කඩවල වාදනය වෙනවා” කියලා. අම්මාගෙත් ප්‍රියතම ගීතයත් මෙයලු” චම්පා අපට කීවාය.
එතෙක් උර්දු ගී පමණක් ගායනා කළ මොහිදීන් බෙග්ට මුල්වරට සිංහල ගීතයක් රචනා කර දුන්නේ යූ.ඩී. මාස්ටර්ය. බෙග් හා කේ.කේ. රාජලක්ෂ්මි ගැයූ මේ ග්‍රැමෆෝන් ගීතය අතිශයින්ම ජනප්‍රියව ඇත.
“කරුණා මූදේ නාමු ගිලීලා
ප්‍රේම මනෝහර ගීත ගයාලා
වේගයෙනි බොහෝ කැලඹිලා
මේ රැලි මාලා ඒ ය නැඟීලා”
යූ.ඩී. මාස්ටර් 1938 සිට 1951 දක්වා කොලොම්බියා හා ඕඩියන් සන්නාම සහිත ග්‍රැමෆෝන් සඳහා ගීත රචනාකොට සංගීතය මෙහෙය වූ ජනප්‍රිය ගීත අතර අලෙවියක් තැබූ ගීත රැසකි. ඉන් කිහිපයකි මේ.
“කෝප වන්නේ ඇයි පෙම්බර ස්වාමී
ඉක්මන් කෝපේ හොඳ නෑ මගෙ ස්වාමී”
(ගායනය / කේ. රාජලක්ෂ්මි)
“මා බෝධි මූලේ විදුරස්නේ රැස් විහිදෙන්නා
මහ සත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නේ”
(ගායනය / ඇම්.බී. ජොහාර්ෂා)
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ “ග්‍රැමෆෝන් යුගය” කෘතියේ “මහ බෝධි මූලේ” ගීතය සම්‍යයක් බෝධිය පිළිබඳ උත්කර්ෂවත් වර්ණනාවක් බව සඳහන් කර තිබුණි.
ගායක අහමඩ් මොහොදීන් ගැයූ යූ.ඩී. මාස්ටර් විසින් රචනා කළ “සිළුමිණ සෑය වඳිමි” ගීතය පිරිහෙමින් පැවති සිංහල ගීත ප්‍රබන්ධවල තත්ත්වය උසස් කිරීමට ඉවහල්වූ ගීතයක් බව මහගම සේකරයන් පවසා තිබුණි.
“සිළුමිණ සෑය වඳිමි
රම්‍ය තව්තිසා නිවනේ
පතමි ශාන්ත අමා
සුන්දර සම්පත් නිවනේ”
ඒ ගීතයයි. අහමඩ් මොහිදීන් ගැයූ “රාජ සඟබෝ හිස දී දුගියාටා දාන පාරමී” එවැනිම තවත් ගීතයකි. ඒ.ඇම්.යූ.රාජ් ගැයූ “නාමෙ නොදිරනා – කුණු කය දිරනා – අරුමෙකි සෝබා සංසාරේ” ගීතය වෙසක්, පොසොන් ඇතුළු බෞද්ධාගමික උලෙළවල අනිවාර්යයෙන් ඇසෙන ග්‍රැමෆෝන් ගීතයක් ලෙස ප්‍රකටය.
1945 වසරේ ශාන්ති කුමාර් (ලංකාවේ දෙවැනි කතානාද චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක) ජේ.ඩී.ඒ. පෙරේරා හා යූ.ඩී. පෙරේරා යන මහතුන්ගේ සහාය ඇතිව සිංහල චිත්‍රපටයක් නිපදවීමට කටයුතු සම්පාදනය වෙමින් තිබුණි. “ශ්‍රී වික්‍රම රාජසිංහ” චරිතය මුලින්ම චිත්‍රපට කිරීමට ඔවුන් අදහස් කළ නමුත්, ඊට විශාල මුදලක් අවශ්‍ය බව පෙනුණු හෙයින් එම අදහස අත්හැර දැමූ බව සිනමා ඉතිහාසඥයකු වූ ඩී.වී. සෙනෙවිරත්නයන් විසින් 1958 ලියූ “චිත්‍රපටි කලාව” කෘතියේ සඳහන් වෙයි. සෙනෙවිරත්නයන් කියා ඇති පරිදි තම හිත මිතුරු යූ.ඩී. පාසල් යන කාලයේ හොරෙන් නෘත්‍ය නාට්‍ය බැලීමට ගිය බවත් කැරෝල් ගී ගැයීමට ගිය බවත් වයස 18දී “බිංදුවා” නම් නාට්‍යයක් නිෂ්පාදනය කර ඇත.
1930 වසරේ යූ.ඩී. විසින් තම ගුරුවරයා වූ යූ.ජී.පී. සිල්වා නිෂ්පාදනය කළ “කුවේණි” නාට්‍යය රචනා කර ඇත. ඒ නාට්‍යෙය් කුවේණි ලෙස රඟපෑවේ හිල්ඩා මෙන්ඩිස්ය. පසුව පොල්ගොල්ල ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ඇය ප්‍රකට ලේඛක ලාල් ප්‍රේමනාත් ද මැල්ගේ සොෙහායුරියකි. ඇල්බට් පෙරේරා (අමරදේව) භාරතයට ගොස් සංගීතය ඉගෙන ලංකාවට පැමිණි පසු ගැයූ මුලින්ම සරල ගීය රචනා කළේ යූ.ඩී. විසිනි. “රසයි කිරි කෑ දියාරු” නම් මේ ගීතය ඇල්බට් පෙරේරා සමඟ ගැයුවේ සිරිමතී වෙත්තසිංහ සමඟය. මේ කාලයේ දීම එඩී ජයමාන්න, ජී.එස්.බී. රාණි, එඩී ද සිල්වා, ස්ටැන්ලි මල්ලවාරච්චි, නෝනා සුබෙයිදා, අසෝකා දේවි ආදීන්ට යූ.ඩී. ගීත රචනා කළේය.
භාරතීය ගීත
මේ අතරින් ස්ටැන්ලි හා අශෝකා ගැයූ දුල් සල් වනේ ලකල්” ගීතය සුවිශේෂිය. “ගීතාලංකාරය” නම් සංගීත කෘතිය යූ.ඩී. ලියූ අගනා ග්‍රන්ථයකි. යූ.ඩී.ගේ එකම ගෝලයා වූයේ ජේ.එල්. සත්‍යදාසය. යූ.ඩී. ඔහුට සංගීතය අතැඹුලක් සේ ඉගැන්වූ අතර, මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට යැවීමට උපකාර කළේය. ගුරු විද්‍යාලයේ සංගීත කථිකාචාර්යවරයකු වූ සත්‍යදාස අකාලයේ මියයාම යූ.ඩී.ට දැරිය නොහැකි වේදනාවක් විය.
යූ.ඩී.ගේ දියණිය චම්පා තම පියාගේ අපූරු ගති සොබා අපට විස්තර කළාය.
“තාත්තා ගෙදරදී ඇහැවුවේ පලුෂ්කාර් කියන භාරතීය ගායකයාගේ ගීත. කොළඹ ගිය දවස්වල තාත්තා අපට ගුණසේන සාප්පුවෙන්.” “ලිහිණි පොත්“ “කුමාර කතා” පොත් අරන් එනවා. තාත්තා බූන්දි, පැණි වළලු, මස්කට් කන්න ආස නිසා ඒවා අපිටත් බෙදලා ඒවා රස කර කර කනවා. තාත්තා සීනි සහිත ප්ලේන්ටි බොමින් සිගරට් බිවුවා. ස්පිට්ල් දොස්තර මහත්තයාගේ වනාන්තර කතා තාත්තා අපිට කියලා දුන්නා. තාත්තාට හරියට කේන්ති යනවා. හැබැයි ඉක්මනට නිවෙනවා. මගේ මල්ලී හේමන්ත වෛද්‍ය විද්‍යාලයට ගියාම අම්මා තාත්තාට මියයන තෙක්ම උවටැන් කිරීමට වඩාත් කැප වුණා. සතියකට සැරයක් හඳපාන්ගොඩට ගිහින් තාත්තාව නාවලා, කවලා පොවලා රෙදි සෝදලා දීලා එනවා. 1976 දෙසැම්බර් 02 වෙනිදා තාත්තා හදවත් රෝගයකින් මියගියා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් හතර දෙනයි. ලක්ෂ්මි, රාජා, මම, හේමන්ත තාත්තාගේ උරුමය සංරක්ෂණය කරනවා.”
ඒ.ඩී. රන්ජිත් කුමාර