එක්දහස් නවසිය පනහ වර්ෂයේ අප්‍රේල් මස දහනව වන දින දකුණු කළුතරදී උපත ලද ආනන්ද ගමගේ මහතා තම ජීවිතයේ පාසල් කාලය ගත කළේ හලාවත මාදම්පේ ප්‍රදේශයේය. කරුක්කුව සුගතානන්ද මහ විදුහල සහ මාදමපේ මධ්‍ය විද්‍යාලය ඔහු ඉගෙනුම ලැබූ පාසල් විය. සංගීතය පිළිබඳ ඔහු ඉගෙනුම ලැබුවේ විශාරද ඩබ්. ජේ. විමලසිරි සහ විශාරද බී.වික්ටර් පෙරේරා යන ප්‍රකට සංගීතඥයන්ගෙන්ය.
ගුවන් විදුලියේ නැවුම් මිහිර වැඩසටහන සඳහා කේ. ඩී. කේ. ධර්මවර්ධන විසින් පද රචිතව ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කරන ලද,
” ඔබේ සිහින කුමුදු විලට සුවදෙන සඳරැස මා බව
මතකයි ඔබෙ හැඩ අකුරින් ලියා එවා තිබුණා ”
ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූවද ඔහු සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා ගත්තේ ගායකයකු ලෙස නොව සංගීතඥයකු ලෙසය. වයලීන වාදනයේ ප්‍රවීණයෙකු වූ ඔහු පසු කලෙක විශාල ගීත සංඛාවක් සඳහා වාදකයෙකු ලෙස සිය දායකත්වය ලබා දෙන ලදී.
” හිම කබාය” වේදීකා නාට්‍ය තුළින් සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු, පසුව සංගීත ගුරුවරයකු වී ගල්මුරුව හේරත් ගුණරත්න මහා විදුහලට ප්‍රථම පත්වීම ලැබීය. ඔහුගේ මුල්ම ගීත නිර්මාණ අඩංගු ගී තැටිය වූයේ සිල්වලයින් ලේබලය යටතේ නිකුත් වූ මැණික් කුරුකුලසූරිය ගැයූ “එනතුරා ” ඊ. පි. තැටියයි.
ඔහු විසින් සංගීතවත් කළ ටෙලි නාට්‍ය රැසකි.
කලකදී ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ වසර තුනක පුහුණුවෙන් පසුව, සෞන්දර්ය පුහුණු ගුරුවරයකු ලෙස කොළඹ නාලන්දා විදුහලට පත්විය. එකල සමිත රත්ගම ගී ලියා විජය කුමාරතුංග ගායනා කළ ගී ඇතුළත් ” තනි යහන ” කැසට් පටය සඳහා ගීත පහක් ඔහු විසින් නිර්මාණය කරන ලදී.
ඔහු තැනූ ගී තනු අතරින් මුලින් ජන ප්‍රසාදයට පාත්‍ර වූයේ ප්‍රනීත් අභයසුන්දර පද රචනා කළ විශාරද මාලනී බුලත්සිංහල විසින් ගැයූ ” තාර පාර දිග පාට පාට කඩ ” නැමැති ගීතයයි.
ඉන් අනතුරුව ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂවරයා වීමේ වරය ඔහු හට හිමිවිය. ඔහු ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකට නමක් දිනාගත් සංගීතඥයකු ලෙස සඳහන් කිරීම නිවැරදිය. ඔහු විසින් සංගීතවත් කළ ටෙලි නාට්‍ය රැසකි ඒ අතර, අඹ යහළුවෝ, කළු කපා එළි, ඉර බටු තරුව, ධවල රාත්‍රිය, සුර අසුර, ගුරු දෙවියෝ, ගැහැණු ළමයි, අවසඳ, මහමෙරක් පාමුල, නේත්‍රා මංගල්‍ය, සුදු කිරි කට්ටි, දෑකති මුවහත ආනන්ද ගමගේ සංගීතඥයාගේ සත්සරයෙන් හැඩ වූ නිර්මාණයන්ය.
ඔහුගේ තනු නිර්මාණයෙන් ඔපවත්ව ජනප්‍රිය වූ ගීත රැසක් පසුව ජනගත විය.
එකම මඟක පියවර මැන යන්නයි, කටු අකුලේ මල් ඇහැරේ, පාන තියා බුදු සාදුට හිමිදිරියේ, ගෙඩි සියයක් බිම හෙළුවත්, ඇතුළු ගීත රැසක් ආනන්ද ගමගේ මහතා අතින් සංගීතයෙන් රසවත් කර තිබේ. මිය යන විට 73 වන වියේ පසුවූ මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු පසුගිය තුන්වන දින උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී. ඔහු මෙරට ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ කැසට් පට ක්ෂේත්‍ර සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් ශිල්පියකු ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ.
නිශ්ශංක විජේරත්න