Home » 75 වැනි පශු වෛද්‍ය සමුළුවේදී පශු වෛද්‍යවරුන්ට පදක්කම්

75 වැනි පශු වෛද්‍ය සමුළුවේදී පශු වෛද්‍යවරුන්ට පදක්කම්

by sachintha
December 6, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ (SLVA) 75 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සහ වාර්ෂික සමුළුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ඩිලාන් සතරසිංහ මහතා උත්සවයට පැමිණ සිටි පිරිස පිළිගත් අතර, පශු වෛද්‍යවරුන් ඇගයීමට ලක්කරමින් මෙම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඔවුන් දක්වන විශිෂ්ට දායකත්වය අගයමින් සහතික සහ පදක්කම් ප්‍රදානය කෙරිණි.

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ, සංසන්දනාත්මක රෝග විනිශ්චය සහ ජනගහන වෛද්‍ය අධ්‍යයනාංශයේ ප්‍රධානී, මහාචාර්ය සුභාෂිණී කාරියවසම් මහත්මිය විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වන ලදි. 76 වැනි විධායක කමිටුව පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 76 වැනි සභාපතිවරයා ලෙස වෛද්‍ය මොහොමඩ් ඉජාස් මහතා පත්වීම මෙම උත්සවයේ විශේෂත්වයක් වූ අතර, අභිනවයෙන් තේරී පත්වූ නායකත්වය පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් සංගමය මෙහෙයවීමට සූදානමින් සිටී.

පශු වෛද්‍යවරුන් සහ විශේෂ ආරාධිතයන් 400කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන්ගේ එකමුතුකම සහ කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. 1940දී පිහිටුවන ලද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය (SLVA) ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය වෘත්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට සහ එම වෘත්තිකයින් නියෝජනය කිරීමට කැපවූ ආයතනයක් වන අතර, මෙහි සාමාජිකයන් 1300කට අධික සංඛ්‍යාවක් සිටින බවද ඔවුන් සියල්ලන්ම පාහේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යාපීඨයෙන් උපාධිය ලබා ඇති බවද, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසයි.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය වෘත්තිමය ගුණාත්මකභාවය සහ සතුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින අතර, විවිධ අංශවල සේවය කරන පශු වෛද්‍යවරුන් අතර සහයෝගිතාව වර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. වෘත්තිමය විශිෂ්ටත්වය සඳහා සංගමයේ කැපවීම අගය කළ යුතු අතර, එය ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිතයන් සහ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT