මහව දුම්රිය ස්ථානය හා අනුරාධපුර දුම්රිය ස්ථානය අතර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පිණිස, ලබන වසරේ ජනවාරි 5 සිට මාස 7ක කාලයකට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමාකොට තිබේ. ඒ අනුව මාස හතක කාලය තුළ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් සීමාවෙයි.
මහව සිට අනුරාධපුරය දක්වා මගී බස් සේවාවන් ක්‍රියාත්මක කොට, අනුරාධපුරය හා කන්කසන්තුරේ අතර කොටසේ දුම්රිය ධාවනය පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව මෙතෙක් ස්ථීර තීරණයකට දෙපාර්තමේන්තුව එළැඹී නොමැත. උතුරේ දුම්රිය මගීන් ඉල්ලා සිටින්නේ දුම්රිය මාර්ගය වසා දැමීමට පෙර වවුනියාව දුම්රිය ස්ථානයට දුම්රිය කීපයක් රැගෙනවිත් එම දුම්රියන් යොදාගෙන අනුරාධපුරය හා කන්කසන්තුරේ අතර දුම්රිය ධාවන කටයුතු පවත්වාගෙන යන ලෙසයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්ත දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර ගිවිසුමක් අත්සන් තැබුණි. ඒ අනුව අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස මේ වන විට සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට අවසන් වී ඇත. මහව සිට අනුරාධපුරය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් වන්නේ වසර 103කට පසුවය.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ