Saturday, May 10, 2025
Home » ලංකාවේ අසිරිය පෙන්වන්න තුර්කියේ සිතුවම් දැක්මක් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

ලංකාවේ අසිරිය පෙන්වන්න තුර්කියේ සිතුවම් දැක්මක් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

by sachintha
December 6, 2023 1:00 am 0 comment

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙරට අසිරිය විදහා දැක්වෙන චිත්‍ර ප්‍රදර්ශනයක් සහ මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් තුර්කියේ අන්කාරා නුවරදී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

සන්රේ ජෙම්ස් ආයතනයේ මැණික් සහ ස්වර්ණාභරණ එකතුව ඇතුළත් ප්‍රදර්ශනය, පසුගිය 26දා තානාපති නිල නිවසේදී පැවැත්වුණු අතර, එය නවීන මෝස්තරවලින් මෙන්ම වටිනා මැණික් සහිත සාම්ප්‍රදායික ආභරණවලින් සමන්විත විය.

වසර 2000කට වඩා පැරණි ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ පසුබිම, ශ්‍රී ලංකාවේ පවතින විවිධ මැණික් වර්ග සහ සුප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ මැණික් ගල් පිළිබඳව එහිදී තුර්කියේ තානාපතිනි, හසන්ති දිසානායක මහත්මිය විසින් පැහැදිලි කරන ලදි. සන්රේ ජෙම්ස් හිමිකරු සමන්ත වික්‍රමආරච්චි මහතා පැවැත්වූ මැණික් ප්‍රදර්ශනය ඉස්තාන්බුල් සහ ට්‍රැබ්සන්හිදීද පැවැත්විණි.

කීර්තිමත් ශ්‍රී ලාංකේය ප්‍රවීණ ජල වර්ණ ශිල්පී, වසන්ත පෙරේරා මහතාගේ ජල වර්ණ සිතුවම් 25කින් චිත්‍ර ප්‍රදර්ශනය සමන්විත විය. මෙම සිතුවම් ශ්‍රී ලංකාවේ අනන්‍ය සංස්කෘතික සම්ප්‍රදායන් නිරූපණය කළේය.

වසන්ත පෙරේරා මහතා වනජීවී සහ ස්වභාවධර්මය ඇතුළත් මුද්දර 39ක් මෙරට මුද්දර කාර්යාංශය වෙනුවෙන් නිර්මාණය කර තිබේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වසර සැමරීම සඳහා ශ්‍රී ලංකාව සහ විශේෂ සමරු මුද්දරද පෙරේරා මහතා විසින් දෙරට සඳහාම නොමිලේ නිර්මාණය කර ඇති අතර, පළමු දින විශේෂ ආවරණ ළඟදීම එළිදැක්වීමට නියමිතය. ප්‍රදර්ශනය සඳහා 50කට අධික රාජ්‍ය තාන්ත්‍රිකයන්, කලාලෝලීන් ඇතුළු තුර්කි ප්‍රජාව, ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය නිලධාරීන් ආදී විශාල පිරිසක් සහභාගි වූහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT