Saturday, May 10, 2025
Home » මැටරඹ හේමරතන නාහිමි බොදු පුනරුදයට ඉටු කළ සේවාව ප්‍රශංසනීයයි

මැටරඹ හේමරතන නාහිමි බොදු පුනරුදයට ඉටු කළ සේවාව ප්‍රශංසනීයයි

by sachintha
December 6, 2023 1:00 am 0 comment

ආදාහන පූජෝත්සවයට ශෝක පණිවිඩයක් එවමින් ජනපති පවසයි

අපවත් වී වදාළ මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ මේ රටේ බෞද්ධ උරුමය සහ පුනරුදය වෙනුවෙන් ඉටු කළ සේවාව ප්‍රශංසනීයයි යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මැටරඹ හේමරතන නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා නිකුත් කළ ශෝක පණිවිඩයේ මේ බව දැක්වේ.

ඒ ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ:

“මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරස්ථානාධිපති, අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍ය අති ගෞරවාර්හ සද්ධර්ම ශ්‍රී රත්නසාර මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත සැල වීමෙන් මම සාතිශය සංවේගයට පත් වීමි. අපවත් වී වදාළ පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේ සිතුල්පව්ව පුදබිම ආරක්ෂා කරගැනීමට ඉටු කළ මෙහෙවර මෙන්ම ථේරවාදි බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා දැන උගත් ශිෂ්‍ය පරම්පරාවක් බිහි කරමින් ශාසනික හා සමාජීය වශයෙන් කැප වී ක්‍රියා කළ බව මම මැනවින් දනිමි. වර්තමාන සංඝ පරම්පරාව ඔපවත් කළ භික්ෂු චරිතයක් සේ පුරෝගාමිව ක්‍රියා කළ පූජ්‍ය මැටරඹ හේමරතන මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් සංවේග ප්‍රාප්ත ශිෂ්‍ය පරම්පරාවට, උන් වහන්සේගේ ඥාති පරම්පරාවේ සියලු දෙනාට සහ දායක සභාවටද මගේ සංවේගය ප්‍රකාශ කර සිටිමි.”

අමරපුර මහා සංඝ සභාවේ මහානායක බම්බලපිටිය වජිරාරාමාධිපති අග්ගමහාපණ්ඩිත රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, රුහුණු මාගම් පත්තුව වෙනුවෙන් තිස්ස රාජමහා විහාරාධිපති දේවාලේගම ධර්මසේන මාහිමි, ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි ඇතුළු නායක හිමිවරුද මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවිඩයද, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ශෝක පණිවිඩයද, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩයද, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ශෝක පණිවිඩයද ඉදිරිපත් කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ, කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, සම්පත් අතුකෝරල යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් හා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ආදාහන පූජෝත්සවයට සහභාගි වී සිටියහ.

 

ගාල්ල උතුර සමූහ

දික්වැල්ලේ තිලකරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT