ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, තැපැල් මුද්දර චිත්‍ර තරගයෙන් තෝරා ගන්නා ලද චිත්‍ර දෙකක් ඇසුරෙන් නිර්මාණය කරන රුපියල් 110 සහ රුපියල් 50ක වටිනාකම්වලින් යුත් නත්තල් තැපැල් මුද්දර ද්විත්වය නිකුත් කිරීම පුංචි බොරැල්ල, ශාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලේ දී පසුගියදා (01) පැවැත්විණි. මෙහිදී මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා විසින් එහි පළමු මුද්දර ද්විත්වය සහ මුල්දින කවරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා වෙත පිළිගන්වනු ලැබීය. මෙහිදී තැපැල් මුද්දර චිත්‍ර තරගයේ විවිධ වයස් කාණ්ඩ යටතේ ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන් වෙත සහතික හා මුදල් ත්‍යාගද පිරිනැමීය.
කතෝලික රදගුරු සම්මේලනයේ ජනසන්නිවේදන කොමිසමේ සභාපති හා කොළඹ සහයක රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් ඇතුළු පියතුමන්ලා, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චතුරි පින්තු යන මහත්ම මහත්මීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දරු දැරියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.