Saturday, May 10, 2025
Home » පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කරයි

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කරයි

by sachintha
December 6, 2023 1:01 am 0 comment

වඩාත් ආකර්ෂණීයව, නිවැරදිව හා පිළිගැනීමක් ඇති ආකාරයෙන් ජනතාවට ජාතික ඩිජිටල් උප්පැන්නයක් නිකුත් කිරීමේ වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) ආරම්භ කෙරිණි.

e -ජනගහනය ලේඛන වැඩසටහන යටතේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මඟින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ අනුව පළමු වරට ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (05) සිදු කෙරිණි. ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මේ ජාතික උප්පැන්න සහතිකයට දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංකය බවට පරිවර්තනය වන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබා දීම මේ වැඩසටහනේ අරමුණ වී ඇති අතර, ඒ යටතේ නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” ලෙස නම් කර ඇත.

මේ උප්පැන්න සහතිකය දරුවාට ඉදිරියේ දී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙස ඇතුළත් කර තිබීම විශේෂත්වකි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව “මගේ අංකය” ඇතුළත් කිරීම සිදු කරයි.

ඒ අනුව දරුවෙකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර, ඒ තුළින් ජනගහන ලේඛනයක් ගොඩනැඟීමට හැකියාව ලැබෙයි.

ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදය, සහතිකයේ ඇතුළත් වන තොරතුරු, උපන් ස්ථානය පිළිබඳ තොරතුරු, මගේ අංකය, සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ), පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය, මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ වන අතර, රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් කෙරේ. සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම,

මවුපියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම, මේ උප්පැන්න සහතිකය සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ/ ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම, විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම,

සහතිකයේ තොරතුරු සංශෝධනය කළොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම ආදී තොරතුරුද එහි සඳහන්ය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, අගමැති ලේකම් අනුර දිසානායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ,කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න, අගමැති කාර්යාලයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දන රණවිර ආරච්චි මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර සහ කළුතර මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT