රුපියල් ලක්ෂ 63කට ගජමුතුවක් අලෙවි කිරීමට සූදානම් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත කාර්ය සහායකයෝ දෙදෙනෙක් ජා-ඇළ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගනු ලැබූහ. ගොඩකවෙල හලුගස්තැන්නේ සහ මහියංගණය ආරාවත්තේ පදිංචිකරුවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 32 සහ 28 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි. මෙම පුද්ගලයන් දෙදෙනා ගජමුතුවක් රුපියල් කෝටියකට අලෙවි කිරීමට ගනුදෙනුකරුවකු සොයමින් සිටින බවට පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ ජා-ඇළ පොලිස් ඒකකයේ නිලධාරියකුට තොරතුරක් ලැබී තිබී ඇත. ඒ බව එම නිලධාරියා ජා-ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතා දැනුම්වත් කිරීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂක තිලකසිරි ඇතුළු කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහිදී පොලිස් නිලධාරියකු ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් සැකකරුවන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ගජමුතුව මිල දී ගැනීමට අදාළ සාකච්ඡාවන් පවත්වා ඇත. දෙපාර්ශ්වය අතර විශ්වාසය ගොඩනඟා ගැනීමෙන් අනතුරුව සහ කේවල් කිරීමකින් පසු ගනුදෙනුව රුපියල් ලක්ෂ 63කට සිදු කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනා ගජමුතුවත් රැගෙන ජා-ඇළට පැමිණ ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරියාට එය අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්න කිරීමේදී මහියංගණයේ පදිංචි සැකකරු පවසා ඇත්තේ එම ගජමුතුව සිය නිවෙසේ වසර ගණනාවක් තිස්සේ තිබුණු එකක් බවය. නිවෙසේ තිබුණු එම ගජමුතුව අලෙවි කර කීයක් හරි සොයා ගැනීමට තමාට සිතුණු බව ද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ. අවපැහැ ගැන්ව තිබුණු එම ගජමුතුව තමා විසින් පිරිසුදු කර ඔපමට්ටම් කළ බව ද ඔහු පොලිසියට පවසා ඇත. එම ගජමුතුව අලෙවි කිරීමට ගැනුම්කරුවන් සොයා සිටියදී ජා-ඇළ පදිංචි ව්‍යාපාරිකයකු තමාට ඇමතුමක් දුන් බවත් විශ්වාසය ගොඩනඟා ගැනීමෙන් පසු ගනුදෙනුව සිදු කිරීමට ජා-ඇළ සතොස ආයතනය ඉදිරිපිටට පැමිණි විට පොලිසියට හසු වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.
සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගයාන් කුමාර වීරසිංහ, ජා-ඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව,
ජා-ඇළ සමූහ – ප්‍රසංග පෙරේරා