Tuesday, May 13, 2025
Home » කෝටි 5000ක සුළු-මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණයෙන්

කෝටි 5000ක සුළු-මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණයෙන්

by sachintha
December 6, 2023 12:50 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කෝටි 25,000ක්

දැවැන්ත අර්බුදයන්ට මුහුණ දෙමින් මේ වන විට ඇදවැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුව සහ රජය එක්ව පිරිනමන රුපියල් කෝටි පන්දහසක (රුපියල් බිලියන පනහක) සහනදායී ණය පහසුකමින් ලබන වසරේදී රටේ ආර්ථිකය රුපියල් කෝටි විසිපන්දහසකින් (රුපියල් බිලියන දෙසිය පනහකින්) පිබිදෙනු ඇතැයි… ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ප්‍රකාශ කළේය.

වසර 2019 සිට මේ වසර දක්වා අඛණ්ඩව වසර පහක් දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන, අභියෝග හමුවේ ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ලබන වසරේදී ධන ආර්ථික වර්ධනයක් අත් කරගනු ඇතැයි ද ඒ සඳහා වසර 2024 අය වැය යෝජනා බෙහෙවින් ඉවහල් වන්නේ යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහනදායී ණය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන තිහක මුදලක් ද රජයෙන් රුපියල් බිලියන විස්සක මුදලක් ද මෙවර අය වැයෙන් වෙන් කොට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ඉතා නුදුරේදී මෙරටට ලැබීමත් සමඟ ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය මූල්‍ය ආධාර ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදාවේ.

ඊට අමතරව රට බංකොලොත්භාවයෙන් මිදීම සිදුවේ. මේ දෙයාකාර සිදුවීම් හරහා නැවත වතාවක් ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව ඉදිරියට යෑමට සුළු හා මධ්‍ය පරිමාණ අංශයට ජවය සැපයීමට සහනදායී ණය පහසුකම් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ලබන වසර සඳහා අය වැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය.

එම යෝජනා ක්‍රියාත්මක කිරීමත් සමඟ පස් ගුණයකින් ආර්ථික පිබිදීමක් අපේක්ෂා කරන බව ගුණසිරි මහතා ප්‍රකාශ කළේය.

වසර 2024දී රජයේ මුළු ආදායම (බදු ආදායම්, බදු නොවන ආදායම් සහ ප්‍රධාන) ලෙස රුපියල් බිලියන හාරදහස් එකසිය විසිහතක් (4127) අපේක්ෂා කොට ඇත. මේ මුදලින් බදු ආදායම් රැස් කරන රජයේ ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් රුපියල් බිලියන තුන්දහස් අටසිය විස්සක් (3820) අය කර ගැනීමට ඉලක්ක කොට ඇත.

මෙම ප්‍රමාණයෙනුත් රුපියල් බිලියන එක්දහස් අසූවක් (1080) ආදායම් බදු ලෙසත්, වෙළෙඳාම මත වක්‍ර බදු වශයෙන් රුපියල් බිලියන දෙදහස් දෙසිය තිස්පහක් ද (2235) විදේශ වෙළෙඳාම් මත බදු වශයෙන් රුපියල් බිලියන පන්සිය පහක් (505) අය කර ගැනීමට ඉලක්ක කොට ඇතැයි ඔහු කීය.

මෙලෙස බදු ආදායම වැඩි කර ගැනීමට යෑමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙර වසරට සාපේක්ෂව සියයට දෙසීයක කාර්යක්ෂමතාවක් ඇති කර ගනිමින් කටයුතු කළ යුතු යැයි කී ගුණසිරි මහතා ඔවුන් තම ඉලක්ක සපුරා ගැනීමට 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතට අනුව නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය.

ඒ අනුව 2022-2023 වසර සඳහා කාර්තුමය පදනම මත නිසි පරිදි මහා පරිමාණ බදු ගෙවන්නන් නොගෙවා ඇති අති විශාල බදු මුදල අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ගුණසිරි මහතා එවැනි දෙයක් සාර්ථකව සිදු කර ගතහොත් මෙවර අය වැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් ඇතුළු සියලු සුබසාධන යෝජනා ජනවාරියේ සිටම ක්‍රියාත්මක කිරීමට පහසු වන බව ද සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT