රථවාහන වැරැද්දකට හසු කරගත් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතාගෙන් ගලගෙදර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් අල්ලසක් ගැනීමට උත්සාහ දරා ඇතැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා පදනම් කරගෙන වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විසින් මහනුවර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාට දැනුම් දී ඇත.
ඇමැතිවරයාගේ පුතා පසුගිය සෙනසුරාදා මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය නතර කර ඇත්තේ සුදු ඉර කපා වාහනය ධාවනය කිරීම සම්බන්ධයෙන් බව සඳහන්ය. පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු විසින් එසේ අමාත්‍යවරයාගේ පුතා පැදවූ මෝටර් රථය නතර කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම මෝටර් රථයේ රියැදුරු ලෙස ඒ වන විට කටයුතු කරමින් සිට ඇත්තේ පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතා බව පොලිස් නිලධාරීන් දැන සිට නැත. එම නිලධාරීන් රියැදුරු අසුනේ සිටි අමාත්‍යවරයාගේ පුතා සමඟ සුහදශීලීව කතා කරමින් වරද පැහැදිලි කර දී ඇති බව ද සඳහන්ය. අවසානයේදී දඩ පත්‍රිකාවක් දීමට පෙර නිලධාරීන් ඔහුගෙන් ව්‍යංගයෙන් අල්ලස් ඉල්ලා ඇති බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, වෙඩ් අඩවි සහ පුවත්පත්වල පළ වී තිබුණු මාධ්‍ය වාර්තා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.
ගයාන් කුමාර වීරසිංහ