දෙසැ. 13 දා දන්වන්න අභියාචනාධිකරණයෙන් නියෝග
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය දෙසැම්බර් මස දහතුන් වැනිදා දැනුම් දෙන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට අභියාචනාධිකරණය ඊයේ (05) නියම කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට අදාළව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මඟින් මෙම නියමය කරන ලදි.
සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කාලය අවශ්‍ය බවය.
මෙම නඩුවට අදාළ ලියකියවිලි සම්බන්ධයෙන් අධ්‍යයනය කර පැහැදිලි තීරණයකට එළැඹිය යුතු බැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වුවද හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බවට මීට පෙර අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාව අනුව ඊළඟ නඩු දිනය තෙක් කටයුතු කිරීමට එකඟ වන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
අධිකරණය මඟින් මීට පෙර කරන ලද නියෝගය අනුව නව ක්‍රීඩා ඇමැතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කළ පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර ෂම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරාන් ඇන්කටෙල් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර ලබා දීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස දිගටම නම් කර සිටින බව එහිදී සඳහන් කෙරිණ. තමන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නව ක්‍රීඩා ඇමැතිවරයා සහ අර්ජුන රණතුංග මහතා මේ වන විටත් නම් කර සිටින බව පෙත්සම්කාර රවීන් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා එහිදී ප්‍රකාශ කළේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සලකා බැලීම ලබන දහතුන් වැනිදා සිදු කිරීමට තීරණය කළේය.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශ ලේකම්වරයා, නව අතුරු කමිටු සාමාජිකයන් වන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, එච්.කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, එම්.එච්. ජමාල්ඩීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර ෂම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙත්සම්කාර රවීන් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිඥ දිනේෂ් විතාන පතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියේය. අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතුරු පාලක කමිටුව වෙනුවෙන්ද පෙනී සිටියහ.
නෙල්කා මැදගෙදර