උතුරු-නැඟෙනහිර දරුවන් 28ක් දැනටමත් යවලා
ශ්‍රී ලාංකික බාලවයස්කාර දරුවන් ඉන්දියාව හරහා මැලේසියාවට ගෙනගොස් විකිණීමේ මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (05) කරුණු වාර්තා කළේය.
උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වයස අවුරුදු 5ත් – 17ත් අතර වයස්වල පසුවන දරුවන් 28 දෙනකු මේ වන විට මෙරටින් මැලේසියාවට ගෙන ගොස් ඇති බවත් එම දරුවන් නැවත මෙරටට පැමිණ නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම හා ජාවාරම් විමර්ශන අංශයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලලත් නිලධාරී (විමර්ශන) චන්දිම මනූජ මුණසිංහ මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 19 වැනිදාය.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු තම දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බවත් මේ පිළිබඳ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ඊමේල් පණිවිඩයක් ද ලැබී තිබුණු බවත් එම ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එම ඊමේල් පණිවිඩයේ දත්ත අනුව පරීක්ෂා කර බැලීමේදී මෙරට උතුරු නැඟෙනහිර පළාත්වල වයස අවුරුදු 5ත් – 17ත් අතර වයස් කාණ්ඩවල පසුවන දරුවන් 28 දෙනකු මව සමඟ හෝ තනිව මෙරටින් පිටව ඉන්දියාවට ගොස් ඇති බවත් පසුව මවුවරුන් පමණක් මෙරටට නැවත පැමිණ ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඉන්දියාවේ සිට මැලේසියාවට යන එම දරුවන්ව මැලේසියානු ජාතික කාන්තාවක පැමිණ එරටේ ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව රැගෙන යන බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙම දරුවන් විදෙස්ගත කරවීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන්තොටුපොළේ තබා ඇති පෝරමය පුරවා ඇත්තේ එක් පුද්ගලයකු විසින් බවට තොරතුරු හෙළි වී ඇති අතර, මේ වන විට එම තැනැත්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් තර ඇත.
මෙම වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 සහ 398 වගන්තිවලට අනුව වරදක් බැවින් සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තබන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.
නිමන්ති රණසිංහ