Tuesday, May 13, 2025
Home » බම්බලපිටියේ අධ්‍යාපන ආයතනයේ වංචාවට 1000ක් අහුවෙලා

බම්බලපිටියේ අධ්‍යාපන ආයතනයේ වංචාවට 1000ක් අහුවෙලා

by sachintha
December 6, 2023 12:36 am 0 comment

ප්‍රවර්ධන නිලධාරීහු 5ක් අත්අඩංගුවට

ජාත්‍යන්තරය පිළිගත් ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනයක් බව හඟවමින් බම්බලපිටිය ලෝරිස් පාරේ ගොඩනැඟිල්ලක EVOLVE COLLEGE OF EDUCATION නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ ප්‍රවර්ධන නිලධාරීන් පස්දෙනකු බම්බලපිටිය පොලිසිය මඟින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ වංචාවට හසු වූ පිරිස 1000කට අධික බව මේ වන විට විමර්ශනවලින් හෙළිව තිබේ.

පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව ලබා දෙන සහතිකයට විදේශ රැකියාවක් ද ලබාගත හැකි බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනින් මෙම ආයතනය මඟින් වංචා කර තිබේ.

එහි අධ්‍යක්ෂවරියක බව කියන 24 හැවිරිදි කාන්තාවක ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි අතර මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහැර ඇත.

ආයතනයේ අධ්‍යක්ෂවරයකු බව හඟවමින් සිටි පුද්ගලයකු සිද්ධියත් සමඟ පලා ගොස් ඇත. එම වංචාවට හසු වූ පුද්ගලයන් 43 දෙනකු බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ සිව්මහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන අධ්‍යාපන ඩිප්ලෝමා ආයතනයක කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසියට ලද තොරතුරකට අනුව එහි ගිය බම්බලපිටියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් දෙපිරිසම පොලිසියට රැගෙනවිත් සිදු කළ විමර්ශනයේදී ඒ බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වැඩිහිටි සාත්තු සේවා, ළමයින් බලා ගැනීම ආදි වෘත්තීන් සඳහා පුහුණුවක් දෙස් විදෙස් විශේෂඥ උපදේශකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් මාස හයක පාඨමාලාවක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ජාත්‍යන්තරය පිළිගත් ඩිප්ලෝමා සහතිකය ලබාගෙන විදෙස් රැකියාවක් පහසුවෙන් ලබා ගන්නා ලෙස අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර මෙම වංචාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සඳහා එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5කට ආසන්න මුදල් ප්‍රමාණයන් අය කර ඇතැයි ද පොලිසිය කියයි.

මුහුණුපොතේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගනිමින් වැඩමුළු පවත්වමින් නීත්‍යනුකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබා දීමෙන් පසු මෙම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එසේම මාර්ගගත ක්‍රමයට ද වැඩමුළු පවත්වා ඇති බව පොලිසිය කියයි. එම සහතික පත්‍රයේ අත්සන යොදා ඇති ස්ථානයේ ඔහු කවුද යන්න සඳහන් කර නැති වීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සහතික පත්‍ර ලබාගත් කීපදෙනකු අදාළ ආයතනය වෙත ගොස් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නොසන්සුන්තාව ඇති වී තිබී යැයි පොලිසිය කියයි.

විමර්ශනය සිදු කළ පොලිසිය අදාළ ආයතනය තෘතීක වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා සිදු කළ විමර්ශනවලදී කිසිදු ලියාපදිංචියක් නැති බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

පලාගිය සැකකරු මට්ටක්කුලියේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (14014) උදය කුමාර, (56277) රත්නායක, කාන්තා පොලිස් කොස්තාපල් (11820) භාග්‍යා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT