මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ ඊයේ (05) සිට පස්වරු 4.00න් පසු විකිරණ ප්‍රතිකාර ලබා දීම නවතා දැමීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 250ක් පමණ දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිති.
පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දෙනු ලබන්නේ කලින් සැලසුම් කරන ලද නිශ්චිත කාල සටහනකට අනුවය. ඒ අනුව රාත්‍රී කාලයේ පවා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සිටී. ඒ සඳහා විකිරණ තාක්ෂණ ශිල්පීන් අතිකාල සේවයේ නිරත වෙමින් එම ප්‍රතිකාර ලබා දෙනු ලබයි.
නමුත් යම්කිසි හේතුවක් මත ඊයේ සිට විකිරණ තාක්ෂණ ශිල්පීන් තම සේවය පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සීමා කර ඇත.
වාර්තා වන අන්දමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛයකට විරෝධය පෑමක් ලෙස විකිරණ තාක්ෂණ ශිල්පීන් මෙම තීරණය ගෙන තිබේ.
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ විකිරණ ප්‍රතිකාර ඉතා ඉක්මණින් අත්‍යවශ්‍ය රෝගීන් රැසකගේ ජීවිත මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි. එසේම අඛණ්ඩව විකිරණ ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් පිළිකා රෝගය නිසි පරිදි පාලනය නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම රෝගීන්ගේ ප්‍රතිකාර දිනකට හෝ ප්‍රමාද වීම තුළින් සුව කළ හැකි රෝග තත්ත්වයන් සුව කළ නොහැකි තත්ත්වයකට පත් වීම වැළැක්විය නොහැකි බවද වෛද්‍යවරු පවසති.
මීට පෙර විකිරණ තාක්ෂණවේදීන් සිය කටයුතු මන්දගාමී කිරීම හේතුවෙන් ද පිළිකා රෝගීන් තවමත් සිය ප්‍රතිකාර ලබා ගැනීමට සිය ගණනක් පොරොත්තු ලේඛනයේ බලා සිටීමට සිදු ව තිබේ.
දීප ව්‍යාප්තව රෝහල් සේවකයින් වැඩ වර්ජන අවස්ථාවන්හිදී පවා මහරගම අපේක්ෂා රෝහල ඊට සම්බන්ධ නොවන්නේ එමඟින් අසරණ පිළිකා රෝගීන්ට විඳින්නට සිදුවන අයහපත් ප්‍රතිඵල හේතුවෙනි.
මෙම විකිරණ තාක්ෂණවේදීන් දිගින් දිගටම ගෙන යන මෙම අමානුෂික වැඩ පිළිවෙල කිසි සේත්ම අනුමත කළ නොහැකි බව පවසන පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍යවරු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ගැටළුව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසයි.