Saturday, May 10, 2025
Home » මෙවර අය වැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 55ක වැඩි වීමක්

මෙවර අය වැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 55ක වැඩි වීමක්

-ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

by sachintha
December 6, 2023 1:00 am 0 comment

මෙවර අය වැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 55ක් වෙන් කර ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, ගුරු – විදුහල්පති ඇතුළු සියලු සේවාවන්හි වෘත්තීය ගැටලු විසඳීමට සැලසුම් කරනවා. අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට පියවර ගන්නවා.

පසුගිය වසරට වඩා මෙවර අය වැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව ඇති ප්‍රතිපාදන තුළ රුපියල් බිලියන 55ක වැඩි වීමක් සිදුව තිබෙනවා. අර්බුදකාරී ආර්ථික පසුබිමක පැවතියදීත් රටක් වශයෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් එවැනි අවධානයක් යොමු වීම පිළිබඳ විෂය භාර ඇමැතිවරයා වශයෙන් මා සතුටට පත් වෙනවා. 2023 වර්ෂයේ අධ්‍යාපනයේ වෙන්ව තිබූ මුදල රුපියල් බිලියන 466ක්. මෙවර අය වැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 517.05ක් වෙන්ව තිබෙනවා.

පෙළ පොත් මුද්‍රණයට කඩදාසි නොතිබුණු, ගුරුවරුන්ට විභාග රාජකාරී සඳහා යාමට තෙල් පෝලිම්වල සිටින්නට සිදු වුණු, රටම අර්බුදයකට පත්ව තිබූ මොහොතක විෂය භාර ඇමැතිවරයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා 2022 වර්ෂයේ මා පත් කළා. එතැන් සිට මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති බොහෝ ගැටලු හඳුනා ගනිමින් පියව‍රෙන් පියවර මෙම තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කළා. බොහෝ දියුණු රටවල ජාතික ධනයෙන් විශාල කොටසක් නියෝජනය කරන්නේ STEAM අධ්‍යාපනය තුළින් ගොඩනැඟුණු මානව සම්පත්. මෙරට පාසල් පද්ධතිය තුළ ද ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් විද්‍යා තාක්ෂණ ඉංජිනේරු කලා සහ ගණිත ක්ෂේත්‍රයන් හරහා විධිමත් ප්‍රවේශයක් දරුවන්ට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීමට මම පියවර ගන්නවා.

මෙවර උසස් පෙළ සමත් සිසුන්ගෙන් සිසුන් 43000කට සරසවි ප්‍රවේශයට අවස්ථාව සලසා දෙනවා. විෂය වර්ග අනුව විශ්ව විද්‍යාල 17ටම සරසවි ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සියල්ල පිරවීමට පියවර ගන්නවා. සමස්ත අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට දේශීය හා විදේශීය අනුග්‍රාහක පාර්ශ්වයන්ගේ ද සහාය ඇතිව පියවර ගන්නවා. 1-5/ 6-9/ 10-13 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ නියමු වැඩසටහන ලබන වසරේ දී ආරම්භ කරනවා.

එමෙන්ම වයස අවුරුදු 21ට පෙර සරසවියෙන් පිටවීමට හැකි වන පරිදි සිසුන්ගේ පාසල් විභාග පැවැත්වෙන ශ්‍රේණි සංශෝධනයට සැලසුම් කරනවා. ඒ අනුව ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට කටයුතු යොදනවා. එමෙන්ම ඉදිරි වසර තුළ වතු පාසල් සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් 2535ක් බඳවා ගනිමින් ඔවුන් සඳහා පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කරනවා. වයස අවුරුදු 3-5 දක්වා වන මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ද අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා ලේකම් කාර්යාලය, ජාතික අධ්‍යාපන ආයතනය හා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව සැලසුම් කරනවා. මෙරට විශේෂ අධ්‍යාපනය සංවර්ධනයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සැලසුම් සකස් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නවා. 2030 වසර වන විට සෑම දරුවෙකුටම දිවා ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නවා. පාසල් දරුවන්ට පාවහන් ලබා දීම වෙනුවෙන් මෙවර අය වැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. එබැවින් පාවහන් තිළිණපත් ලබා දෙන සිසුන් සංඛ්‍යාව දසලක්ෂය දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. එළැඹෙන වසරේ මුල වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් පියවීමට අපේක්ෂා කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT