Home » මෙරට අධ්‍යාපනය පරිවර්තනීය යුගයකට එළඹිය යුතුයි

මෙරට අධ්‍යාපනය පරිවර්තනීය යුගයකට එළඹිය යුතුයි

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
December 6, 2023 1:00 am 0 comment

මෙරට අධ්‍යාපනය පරිවර්තනීය යුගයකට එළැඹිය යුතු බවත් 50 දශකයේ සිට තිබූ සිංහල භාෂාව පමණක් යන සංකල්පය තුළ තවදුරටත් කටයුතු කළහොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (5) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.‍
තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
ප්‍රාකාර, කොටුපවුරු බැඳගෙන සීමා මායිම් සකස් කර ගෙන දූපත් මානසිකත්වයෙන් ක්‍රියාත්මක වන ගමන තුළ රටකට සැබෑ සෞභාග්‍යයක් උදාකර ගත නොහැකියි. සිංහල ඇතුළු අනෙකුත් භාෂාවන්ට මෙන්ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයටත් මුල්තැන ලබා දිය යුතුයි.
සාමාන්‍ය පෙළ විභාගයට පෙර සහ පසු ඉවත් වන සිසුන් වෘත්තීය පුහුණු අධ්‍යාපනය අපේක්ෂා කළත් වර්තමානයේ එහි ගුණාත්මකභාවය අඩු වී තිබෙනවා. ඊට අමතරව අහිමි වන උසස් අධ්‍යාපන අවස්ථා ශක්තිමත් කළ යුතුයි. විශ්වවිද්‍යාල වරම් හිමි නොවන සිසුන්ට පවා උසස් අධ්‍යාපන වරම් ලබා දිය හැකි අවස්ථා ඇති කළ යුතුයි.
පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වන බහුතරයකගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ආයතනවල අධ්‍යාපනය ලබනවා. තමාගේ දරුවන්ට ලබා දෙන ඒ විකල්පය රටේ දරුවන්ට ලබා දීමට කැමැති නැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය රාජ්‍ය නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කර, නූතනවාදී සහ නවීකරණය කරන අතරතුර අධ්‍යාපන අවස්ථා සහ තේරීම් ලබා දීමට කටයුතු කරනවා.
ඒ නිසා සිංහල ඇතුළු අනෙකුත් භාෂාවලට ලබා දිය යුතු ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න කාලය ඇවිල්ලා. ඉංග්‍රීසි භාෂාවට අපි මුල් තැන දෙන්න ඕනෑ. ඒක මහපොළොවේ සත්‍යයක්, යථාර්ථයක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT