දෙවැනි ලෝක යුද්ධයේදී පොළොවට සමතලා වුණු විනාශ වූ ජපානය කොරියාව වැනි රටවල් අද වන විට ආර්ථික අතින් පෙළහර පාමින් සිටින්නේ අධ්‍යාපනය අතින් යාවත්කාලීන වෙමින් උසස් වන්නට ඔවුන් ගත් ඉමහත් වෙහෙස මෙන්ම ඒ වෙනුවෙන් ලබා දුන් ප්‍රමුඛතාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් එලෙස ඉදිරියට යද්දී රටක් ලෙස අප පසුපසට යෑමට බලපෑ හේතු විමසිය යුතුයි. මෙරට විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට එසවීම සම්බන්ධයෙන් අලුතින් සිතිය යුතුයි.
දෙවැනි ලෝක යුද්ධයේදී පොළොවට සමතලා වුණු, විනාශ වුණු, ජපානය, කොරියාව ඇතුළු රටවල් බොහොමයක්, අද ආර්ථික අතින්, පෙළහර පාමින් සිටින්නේ, අධ්‍යාපනය අතින් යාවත්කාලීන වෙමින්, ඉහළ මට්ටමකට උසස් වන්නට ඔවුන් ගත් ඉමහත් වෙහෙස නිසයි. දුන් ප්‍රමුඛතාව නිසයි.
නමුත් අපට පිටුපසින් සිටි රටවල්, එසේ ඉදිරියට යද්දී, අපි සංසන්දනය කර බලන විට පහළටම වැටී තිබෙනවා. ඇයි ඒ? යන්න විමසීම වටිනවා. වැරදි නිවැරදි කර ගැන්ම කරගත යුතු වෙනවා.
අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගැන්මට නම්, ඉහළ තත්ත්වයකට ගෙන එන්නට නම්, අලුත් සිතීම්වලට අප යා යුතු වෙනවා. අවශ්‍ය පහසුකම් ආදිය ලබා දීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ගිය වසරේ අලුත් විශ්වවිද්‍යාල ඇතිකරන යෝජනා තිබුණා. ජනාධිපතිවරයාගේ කතාවේ අලුතින් වෛද්‍ය පීඨ ඇති කරන යෝජනා තිබුණා. මෙවැනි අලුත් නම පවතින ව්‍යාපෘති කරන්නට පෙර පවතින විශ්වවිද්‍යාලවල, පවතින පීඨයන්වල, ඇති අඩුපාඩු සපුරා ගැන්මට ප්‍රමුඛතාව දිය යුතු වෙනවා. අද ඇත්තටම අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල, උසස් අධ්‍යාපනික ආයතනවල යථාර්ථය මොකක්ද? පවතින තත්ත්වය කෙබඳුද? යන්න අප කාගේත් හෘද සාක්ෂිය දන්නවා. අද රජයේ පාසල්වල තත්ත්වය, යථාර්ථය කෙබඳු ද යන්නත් අපි කවුරුත් දන්නවා. අද බොහෝ පාසල්වල, ප්‍රධාන විෂයන්ට ගුරුවරුන් නැහැ. විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල. ගොඩනැඟිලි නැහැ. භාගෙට හදපු ගොඩනැඟිලි වසර ගණනක් තිස්සේ ඒ විදියටම තියෙනවා.
අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. රජයේ පාසල්වල හදන ලද ගොඩනැඟිලි වසර 15කින් 20කින් නිසි නඩත්තු කිරීම් නොමැති නිසා කඩා බිඳ දමනවා. අලුත් ගොඩනැඟිලි අවශ්‍ය බව කියනවා. මහජන මුදල් දූෂිත අරමුණු නිසා නාස්ති කිරීම අප දකිනවා. පාසල්වලට ඩෙස්ක්, පුටු නැහැ. විදුලිය නැහැ. දරුවන්ගේ දිවා ආහාරය සෞඛ්‍යය ප්‍රශ්නයක් වෙලා. දරුවන් කුසගින්නේ පාසල් ඒම, පාසල් කාලය තුළ කලන්තෙ හැදීම වැනි සිදුවීම් දිනපතා වාර්තා වීම අප දකිනවා.මේවා අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සීමාව තුළ, ඔහුට තනිව ඇමතිය හැකි ප්‍රශ්න ලෙස මම කියන්නේ නැහැ. සුරංගනා ලෝක මවන්නේ නැතිව, මේ ප්‍රශ්න ගැන ආණ්ඩුව බැරෑරුම්ව සලකා ඇමතිය යුතුව තිබෙනවා. රට වැටී ඇති ආර්ථික ප්‍රපාතය හේතුවෙන් මවුපියන්ට දරුවන්ගේ අධ්‍යාපනික වියදම් දරාගන්නට බැහැ. දරුවන් පාසල් අධ්‍යාපනය හැරයාමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා.
අප ජීවත් වන සියවසට මෙන්ම අනාගත අභියෝගයනටත් මුහුණ දිය හැකි ලෙසින් අපේ අනාගත පරපුර සූදානම් කිරීම සඳහා, තර්කානුකූල සිතීම්, ගැටලු නිරාකරණ හැකියාවන් ලබා දෙන සහ STEAM අධ්‍යාපනය ලබා දෙන ලෙසින් අපේ අධ්‍යාපනික විෂය මාලා වෙනස් කිරීම් සහ එම පහසුකම් නාගරික – ග්‍රාමීය වෙනස්කම්වලින් තොරව, ලබා දීම් සඳහා පියවර ගැනීම් අප්‍රමාදව සිදු කිරීමේ අභියෝගය රටක් ලෙස අප ඉදිරියේ තිබෙනවා.
අපේ අධ්‍යාපනික අයතනවල යල්පිනූ විෂය පාඨමාලා වෙනුවට තරගකාරී ලෝකයට මුහුණ දිය හැකි අයුරින් අපේ අනාගත පරපුර සූදානම් කිරීම සඳහා ඒ පාඨමාලා යාවත්කාලීන කිරීම අප්‍රමාදව සිදු විය යුතුව තිබෙනවා. විද්‍යාව, ගණිතය වැනි ක්ෂේත්‍රවල ගුරු හිඟය වසර ගණනාවක් තිස්සේ විසඳුමක් නැතිව ඇදෙමින් තිබීම අප දකිනවා. මේ ක්ෂේත්‍රයන් සඳහා ගුරුවරුන් පුහුණු කර ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟීම සිදු විය යුතුව තිබෙනවා.