2024 පාසල් දරුවන් සඳහා පාවහන් වවුචර් පත් ලබා දීමේ ජාතික උත්සවයට සමගාමීව ඌව පළාත් ප්‍රධාන උත්සවය බදුල්ල නෙළුම්ගම විද්‍යාලයේදී පෙරේදා (04) පැවැත්විණි.
මෙහිදී ජාතික උත්සවයට සමගාමීව පාසලේ සිසු සිසුවියන් දසදෙනකු සඳහා පාවහන් ලබා ගැනීම සඳහා රුපියල් 3000ක් වටිනා වවුචර් පත් ලබා දීම සිදුවිය. වවුචර් පත් ලබා ගත් සිසු දරුවන්ට තෝරාගත් වෙළෙඳසැල් වෙතින් ගුණාත්මක තත්ත්වයේ පාවහන් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව ලබාදී තිබේ.
ජාතික උත්සවයට සමගාමීව පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරිහු පිරිසක් එක්වූහ.
ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි