Sunday, May 11, 2025
Home » තෙප්පන්කුලම විදුහලේ දරුවන්ට පාවහන් තිළිණ පත්

තෙප්පන්කුලම විදුහලේ දරුවන්ට පාවහන් තිළිණ පත්

by sachintha
December 6, 2023 1:00 am 0 comment

ඉතා දුෂ්කර හා හු‍ෙදකලා පාසල් දරු දැරියන් සඳහා පාවහන් වවුචර් පත් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයට සමගාමීව උතුරු මැද පළාත් උත්සවය පෙරේදා (4) අනුරාධපුර සාලියපුර තෙප්පන්කුලම විද්‍යාලයේ දී පැවැත්විණි.

උතුරු මැද පළාත් පාසල් දරු දැරියන් හා පිරිවෙන් අධ්‍යාපනය ලබන දරු දැරියන් මෙන්ම හිමිවරුන් අසූ එක්දහස් හත්සිය තිස් එකක් ( 81731) දෙනකු සඳහා පාසල් පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණ පත් පිරිනැමීම මීට සමගාමීව සිදු කිරීමට නියමිතව තිබේ. අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් 463ක් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර රජය මේ සඳහා රුපියල් කෝටි විසි හයක මුදලක් වැය කර ඇති බව උතුරු මැද පළාත් සභාව පවසයි.

පාසල් දරුවන් සඳහා රුපියල් කෝටි 24ක් සහ පිරිවෙන් සඳහා රුපියල් කෝටි දෙකක් වශයෙන් එක් දරුවෙක් සඳහා රුපියල් 3000ක් වටිනා වවුචර් පත් ලබා දීම සිදු කිරීමට නියමිතව තිබේ. පාවහන් වවුචර් පත් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය කොළඹ මෝදර මේදා ලංකා විද්‍යාලයේ පැවැති අතර ඊට සමගාමීව උතුරු මැද පළාත් උත්සවය පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුදෙකලා පාසලක් වන තෙප්පන්කුලම විද්‍යාලය ඉතා ශීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙන පාසලක් වේ. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මෙම පාසලේ ඉදිරිපත් වූ සියලුම දරු දැරියන් ලකුණු 70ට වඩා ලබා ගෙන ශිෂ්‍ය ප්‍රතිඵල සියයට සියයක් ලෙස සමත්ව ඇත. එමෙන්ම මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට 75ක් සමත් වී ඇත.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහ පළාත් අධ්‍යාපන ලේකම්, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අභය ලක්ෂ්මි හේවාපතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන්, විභාග අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප්‍රියංකර, ප්‍රාථමික අධ්‍යාපන සෞඛ්‍ය පෝෂණ අධ්‍යක්ෂ ප්‍රදීප් හේවා විතාරණ, තෙප්පන්කුලම විද්‍යාලයේ විදුහල්පති කේ. එන්. පී. බී. ප්‍රනාන්දු මහතා ඇතුළු ගුරු භවතුන් මවුපියන් හා පාසලේ දරු දැරියෝ සහභාගි වූහ.

අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT