Wednesday, May 14, 2025
Home » රෝහල් සේවකයකු ලෙස රැඟූ කම්බ හොරෙක්

රෝහල් සේවකයකු ලෙස රැඟූ කම්බ හොරෙක්

-ඇස් නොපෙනෙන කතගේ අත-කනකර අතගාගෙන ගිහින්

by sachintha
December 6, 2023 12:30 am 0 comment

එක්ස්-රේ ගන්න රන් බඩු ගලවන්න කියලා

ඕපීඩී උඩුමහලේ කත අතරමං කර රන් බෑගය අරන් පැනලා

ආභරණවල වටිනාකම ලක්ෂ 2කට වැඩියි

 

ඇසක් පෙනීමේ ආබාධයකට කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවකට රෝහල් සේවකයකු ලෙස රඟපා උදවු කරන බව පවසමින්, ඇයගේ රුපියල් ලක්ෂ 2කට වැඩි රන් ආභරණ වංචනික ලෙස කොල්ලකා පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය.

කහටගස්දිගිලිය, මූකිරියාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. පැමිණිලිකාරිය මීට පෙර ඇසේ සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇස පෙනීමේ ආබාධයකට ලක්ව ඉකුත් දා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණ ඇස් වාට්ටුව සොයා ගැනීමට නොහැකිව රෝහල් භූමිය තුළ එහා මෙහා ගමන් කර ඇති බවත්, එම අවස්ථාවේදී පැමිණිලිකාරිය අසලට පැමිණි පුද්ගලයකු තමා රෝහල් සේවකයකු බව පවසා හිතවත් වී උදවු කිරීමට කැමැත්ත පල කර රෝහලේ බාහිර රෝගී අංශය වෙත පැමිණිලිකාර කාන්තාව කැඳවාගෙන ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව තිබේ. පොලිසිය පැවසුවේ සැකකරු එම කාන්තාව රෝහලේ බංකුවක් මත හිඳුවා බෙහෙත් ලබා ගැනීමට තුණ්ඩුවක් රැගෙන ඒමට ගොස් නැවත පැමිණ අංක 8 ලැබුණු බව පවසා ඊට පෙර ඇසේ ‘එක්ස් රේ’ එකක් ලබාගෙන පැමිණෙන ලෙසට කාන්තාවට දැන්වූ බව ඇගේ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවයි. ඉන් අනතුරුව බාහිර රෝගී අංශයේ උඩු මහලේ කාමරයක් අසලට පැමිණිලිකාරිය රැගෙන ගිය සැකකරු කාමරයට ගොස් පැමිණ ‘එක්ස් රේ’ ලබා ගැනීමට පැලඳ සිටින සියලු ආභරණ ගලවා බෑගය තුළට දමා ගන්නා ලෙස පවසා ඇත. එම සැකකරු රන් බඩු දැමූ බෑගයද රැගෙන කාන්තාව කාමරය තුළට ඇරලවන මුවාවෙන් පිටුපසින් ගොස් රන් භාණ්ඩ දැමූ බෑගය සමඟ පලා ගිය බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇතැයි පොලිසිය කීය.

සැකකරු එම කාන්තාව පැලඳ සිටි රන් කරාබු ජෝඩුව, රන් මාලයක් හා රන් මුදුවක් මෙසේ වංචනික ලෙස රැගෙන පලා ගොස් ඇති බවත්, එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් දෙලක්ෂ හතළිස් පන්දහසක් වන බවත් පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

 

අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT