Saturday, May 10, 2025
Home » ක්‍රිකට් තේරීම් කමිටුවට උපුල් සමඟ නවක මුහුණු 3ක් -සියලු දෙනා වයස 40 සීමාවේ ප්‍රවීණයෝ

ක්‍රිකට් තේරීම් කමිටුවට උපුල් සමඟ නවක මුහුණු 3ක් -සියලු දෙනා වයස 40 සීමාවේ ප්‍රවීණයෝ

by sachintha
December 6, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට උපුල් තරංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කොට දස්කම් දක්වමින් සිට මෑතකදී විශ්‍රාම ලැබූ ක්‍රීඩකයන් සිවුදෙනකු නව ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කිරීම උදෙසා නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පියවර ‍ෙගන ඇත.

ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග මහතා සමඟ ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් ලෙස හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, එමෙන්ම හිටපු ආරම්භක පිතිකරු තරංග පරණවිතාන යන මහත්වරුන්ට අවස්ථාව හිමි වේ. මේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලු දෙනා වයස අවුරුදු 40 සීමාවේ පසු වන අය වීම විශේෂත්වයකි.

ඒ අනුව මෙතෙක් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය දැරූ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සාමාජිකයන් වන රොමේෂ් කළුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ට ඔවුන්ගේ ධුරයන් අහිමි වේ.

තවමත් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටින උපුල් තරංග හා ඩිල්රුවන් පෙරේරා යන මහත්වරුන්ට එම ක්‍රීඩාවෙන් සමුගැනීමට මේ නව තනතුරු භාර ගැනීමෙන් පසු සිදු වේ. උපුල් තරංග කොළඹ එන්සීසී ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ලෙස තවමත් කටයුතු කරන අතර, ඩිල්රුවන් පෙරේරා බීආර්සී පිල නියෝජනය කරමින් මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තරග බිමේ ක්‍රීඩා කරමින් සිටියේය.

මේ දිනවල ඉන්දීය ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ සුපර්ස්ටාර් කණ්ඩායම නියෝජනය කරමින් සිටින උපුල් තරංග 2019දී දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගයේදී අවසන් වරට ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය. වසර 2005 සිට ශ්‍රී ලංකා පිල නියෝජනය කළ උපුල් තරංග ටෙස්ට් තරග 31කට, එක්දින තරග 235කට හා විස්සයි 20 තරග 26කට ක්‍රීඩා කළේය.

දැන් ක්‍රියාත්මක ඩුබායි ටී 10 තරගාවලියේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි ඩිල්රුවන් පෙරේරා 2021දී එංගලන්තයට එරෙහිව අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර, ඔහු ටෙස්ට් තරග 43කට, එක්දින තරග 13කට හා විස්සයි 20 තරග 3කදී ජාත්‍යන්තර පිටිය නියෝජනය කළේය. 38 හැවිරිදි අජන්ත මෙන්ඩිස් 2015දී නවසීලන්තයට එරෙහි එක්දින තරගයෙන් පසු ක්‍රීඩාවට සමුදුන්නේය. හෙතෙම ටෙස්ට් තරග 19කට, එක්දින තරග 87කට හා විස්සයි 20 තරග 39කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, 40 හැවිරිදි තරංග පරණවිතාන 2012දී පැවති නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළේ නැත. පරණවිතාන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 32කට පමණක් ක්‍රීඩා කළේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT