Saturday, May 10, 2025
Home » චාමික අබුඩාබි පිටියේ වැඩ පෙන්නයි

චාමික අබුඩාබි පිටියේ වැඩ පෙන්නයි

by sachintha
December 6, 2023 1:00 am 0 comment

චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි ටී10 තරගාවලියේ 18 වැනි තරගයෙන් දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 67ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නිව්යෝර්ක් පිල කඩුලු 4ක් දැවී ලකුණු 98ක් රැස් කළ අතර, එම ඉලක්කය හමුවේ දිල්ලි කණ්ඩායමට ඕවර 9.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 31ක් පමණි.
රවී බොපාරා ලකුණු 16ක් රැස් කරමින් දිල්ලි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා වූ චාමික කරුණාරත්න ලකුණු 6කට කඩුලු 3ක් බිඳ දැම්මේය. ඔහුට අනගි සහායක් දුන් අකීල් හොසේන් ලකුණු 7කට කඩුලු 3ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් නිව්යෝර්ක් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රහ්මනුල්ලා ගුර්බාස් නොදැවී ලකුණු 49ක් රැස් කළේ පන්දු 24කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟිනි. කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම ලකුණු 2කට සීමා වූ අතර, චාමික කරුණාරත්නට පන්දුව පහර දීමට අවස්ථාවක් නොලැබිණි.
මේ තරගය නිමා වන විට මෙවර තරගාවලියේ කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ද චාමිකට හැකි විය. ඔහු තරග 4කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 9කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT