Sunday, May 11, 2025
Home » වෙරිටේ වාර්තාව මුදල් රාජ්‍ය ඇමැති ප්‍රතික්ෂේප කරයි

වෙරිටේ වාර්තාව මුදල් රාජ්‍ය ඇමැති ප්‍රතික්ෂේප කරයි

EPF එකට අත තිබ්බාට වැඩිහිටි ජනතාවගේ විරෝධය

by gayan
December 7, 2023 1:00 am 0 comment

දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදලට මැදිහත් වීමට රජය ගත් තීරණය සාධාරණ නොවන බව මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ පිළිගැනීම වී ඇතැයි පවසමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අදාළ සමීක්ෂණය සඳහා තෝරාගත් නියැදිය සහ ඔවුන් වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නාවලිය කුමක් ද යන්න මෙහිදී සලකා බැලිය යුතු බව පෙන්වාදෙන ඒ මහතා මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමට මෙරට ජනගහනයෙන් සියයට 28ක් පමණ කැමැත්ත පළ කර ඇති බවට සමීක්ෂණ වාර්තාවක් මීට පෙර අදාළ සමාගම ඉදිරිපත් කළ බව පෙන්වා දෙයි.

ඒ සඳහා නියැදිය ලෙස යොදාගෙන තිබුණේ පුද්ගලයන් 1008 දෙ‍ෙනකු හෙවත් සමස්ත ජනගහනයෙන් සියයට 0.0045ක් පමණක් බව ද ඒ මහතා කියා සිටී.

මෙරට ගනුදෙනුකරුවන් සතු බැංකු ගිණුම් මිලියන 57.2ක් සේම සේවක අර්ථසාධක අරමුදල, විශ්‍රාමික අරමුදල් ආරක්ෂා වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස බව සේමසිංහ මහතා පෙන්වාදෙන අතර එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොවූවා නම් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන බරපතළ අර්බුදයකට ලක්වීමට ඉඩ තිබූ බව ඒ මහතා සඳහන් කරයි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ද හේතු වූ බව පවසන ඇමැතිවරයා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී සියලු ණයහිමි රටවල් වෙත සමානව සැලකීමේ න්‍යාය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා රජය අනුගමනය කරන බව ද කියයි.

ඒ අනුව සියලු ණයහිමි රටවල් මේ වන විට ඊට එකඟතාව පළ කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කරන අතර ණය ගෙවීමේ කාලය වැඩි කර ගැනීම සහ පොලී අනුපාත පහත දමා ගැනීම ශ්‍රී ලංකාව මූලික වශයෙන් එම රටවලින් අපේක්ෂා කරන බව සේමසිංහ මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය මුදලේ දෙවැනි වාරිකය සඳහා එහි විධායක කමිටු අනුමැතිය නුදුරේදීම ලැබෙනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කරයි.

මෙම ක්‍රියා මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම වෙනුවට විකල්ප අදහස් නැති හුදු දේශපාලන විරෝධතාවලින් සිදු වන්නේ රටේ ඉදිරි ගමනට හානියක් බව සඳහන් කරන මුදල් රාජ්‍ය ඇමැතිවරයා ඔවුන් අනුව යමින් ඇතැම් සමීක්ෂණ ආයතන ද දේශපාලන අතකොලු බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT