Home » විගණන වාර්තාවෙන් සජිත්ට කට උත්තර නැති වෙයි

විගණන වාර්තාවෙන් සජිත්ට කට උත්තර නැති වෙයි

බිරියගේ සැලොන් එකට ඉංජිනේරු සංස්ථාවේ ආරක්ෂකයන් 19ක් යොදාගෙන

by gayan
December 7, 2023 1:00 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර 2016 සිට 2019 දක්වා කාලය තුළ සිය පෞද්ගලික ආරක්ෂක කටයුතු, දේශපාලන කටයුතු සහ බිරියට අයත් රූපලාවණ්‍යාගාරයේ සේවය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ආරක්ෂක නිලධාරීන් 19 දෙනකු යොදවාගෙන රජයට රුපියල් හාරකෝටි විසි ලක්ෂයක (මිලියන 42ක්) අලාභයක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ එහි අභ්‍යන්තර විගණන අංශය මඟින් නිකුත් කළ විගණන වාර්තාව සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරියට ආරක්ෂකයන් 10 දෙනකු යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති බව මෙන්ම ඇගේ රූපලාවණ්‍යාගාරයට ආරක්ෂකයන් පිරිසක් යොදා සිට ඇති බව සංචාරක, බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීමත් සමඟ විපක්ෂ නායකවරයා එම ප්‍රකාශයට අභියෝග කරමින් එවැන්නක් ඔප්පු කළහොත් තමා ඉල්ලා අස් වන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මෙම අභ්‍යන්තර විගණන වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ බිරියට හා සැලොන් එකට දැමූ ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙසත් එම විගණන වාර්තාව විපක්ෂ නායකතුමාට ලබාදෙන ලෙසත්ය.

එසේ අලුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2022 වසරේ එහි ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි එන්.වී.ටී. ධම්මික මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ විගණන වාර්තාවය.

2016 ජුනි 01 වැනිදා සිට 2019 ඔක්තෝබර් 31 වැනිදා දක්වා කාල සීමාව සඳහා අමාත්‍යාංශ රාජකාරි ලෙස සටහන් කරන ලද බැහැර කාර්ය සටහන් මඟින් සංස්ථාවට අයත් නොවන විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන හා ඔහුගේ බිරියට අයත් ව්‍යාපාරික ස්ථානයන්හි සේවයේ යොදවා නැවත ප්‍රතිපූර්ණය කර ගැනීමකින් තොරව සංස්ථාව මඟින් වැටුප් හා අතිකාල ගෙවීම් කර ඇති බවට විගණන වාර්තාව සඳහන් කරයි.

විගණන පරීක්ෂණය සිදු කිරීමේදී 2018 සහ 2019 වසර සඳහා බැහැර රාජකාරි පත්‍ර පමණක් ආරක්ෂක අංශය සතුව තිබූ අතර ඒවායේ අමාත්‍යාංශ රාජකාරි ලෙස සඳහන් කර තිබුණ ද ලබාගත් ප්‍රකාශ අනුව ඇතැම් සේවකයන් ඉහත කාල සීමාව තුළ හිටපු නිවාස සහ ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ආරක්ෂක කටයුතු, දේශපාලන කටයුතු, මැතිවරණ මෙහෙයුම් කාර්යාලයන්හි මහජන දින පැවැත්වෙන කාර්යාලයන්හි හා ඒ මහතාගේ බිරියට අයත් රූපලාවණ්‍යගාරයන්හි සේවය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. මේ සේවකයන් 19 දෙනා වෙත ගෙවීම් කරන ලද වැටුප් හා අතිකාල මුදල් නැවත ප්‍රතිපූර්ණය කර නොගැනීම මත සංස්ථාවට රුපියල් මිලියන 42ක් හෝ ඊට ආසන්න සමස්ත මූල්‍ය අලාභයක් සිදුව ඇත.

මෙම ආරක්ෂක සේවකයන් 19 දෙනා අතුරින් දැනට අටදෙනකු සේවයේ යෙදෙන අතර ආරක්ෂක නියාමකවරුන් තිදෙනකු සහ නුපුහුණු සේවකයන් පස් දෙනකු වේ.

නිවාස සහ ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස එකල කටයුතු කළ සම්බන්ධීකරණ ලේකම් නුවන් සිරිවර්ධන, මාධ්‍ය ලේකම් මහිලාල් එම්. සෙනෙවිරත්න, සම්බන්ධීකරණ ලේකම් ලලිත්. ඩී. කහපොල, මහජන සම්බන්ධතා නිලධාරි අරුණ දහනායක සහ පෞද්ගලික ලේකම් පී. සමරසිංහ මහත්වරුන් 2018 සහ 2019 වසර සඳහා ඉහත ආරක්ෂක සේවකයන් 19 දෙනාගේ ඇතැම් බැහැර රාජකාරි පත්‍ර සහ වේලා සටහන් පත්‍ර සඳහා අමාත්‍ය කාර්යාලයේ සේවය කළ බවට සිය අත්සන් හා නිල මුද්‍රාව තබා සහතික කර තිබේ.

සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලක මහතා මෙම ආරක්ෂක සේවකයන් 19 දෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ විවිධ කටයුතු සඳහා බැහැර කාර්ය සටහන් පත්, වේලා සටහන් පත් සඳහා ලිඛිත අනුමැතිය ලබා දෙමින් සේවකයන් යෙදවීම, ඒ සඳහා ඔවුනට වැටුප් සහ අතිකාල දීමනා සකස් කරන ලෙස සහ ගෙවීමට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දීම සිදු කර ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.

හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පාලන එච්.ඒ.එස්.පී. හතුරුසිංහ මහතා හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලක මහතාගේ ලිඛිත සහ වාචික උපදෙස් මත පදනම්ව එම ආරක්ෂක සේවකයන් අමාත්‍යාංශ රාජකාරි ඇතුළු අමාත්‍යවරයාගේ පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා අනුයුක්ත කර තිබේ. එසේම වසර ගණනාවක් බැහැර සේවයේ යෙදුණු මෙම ආරක්ෂක සේවකයන් වෙත ගෙවීම් කරන ලද මුදල් අදාළ පාර්ශ්ව වෙතින් නැවත ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කරගෙන නැත.

හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඊ.එස්.එස්. ද සිල්වා මහතා බැහැර සේවයේ යොදවා තිබූ මෙම ආරක්ෂක සේවකයන්ගේ වැටුප් හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලක මහතාගේ උපදෙස් අනුව කටයුතු කිරීම සහ එම සේවකයන් අතුරින් හිටුප අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන කටයුතුවල යොදවා සිටි ඇතැම් ආරක්ෂක සේවකයන්ගේ සේවා දීර්ඝ කිරීම් සඳහා නිර්දේශ ලබා දීම සිදු කර තිබේ.

පරිපාලන නිලධාරි එන්.ඩබ්ලිව්.සී. කුඩාහෙට්ටි මහතා එම ආරක්ෂක නියාමකයන්ගේ සේවා දීර්ඝ කිරීම් ඔවුනගේ ලිඛිත ඉල්ලීමකින් තොරව ලබා දෙන ලෙස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වෙතින් ලිපි මඟින් ඉල්ලීම් සිදු කර තිබේ.

2016 වසරේ සිට 2019 දක්වා කාලය තුළ ආරක්ෂක අංශයට බඳවාගත් සේවකයන් 19 දෙනා පෞද්ගලික සේවයට යොදවා ගෙන ඔවුනට වැටුප් අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම් කිරීම තුළින් රුපියල් මිලියන 42කට ආසන්න මුදලක අලාභයක් සිදු කිරීම ඇතුළු වරදවල් සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සරත් පී. ජයතිලක, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හතුරුසිංහ, ප්‍රධාන ආරක්ෂක නිලධාරින් වන ඊ.එස්.එස්.ද සිල්වා, ආර්.ජී.ජී. වික්‍රමසිංහට නඩු පැවරීමට යෝජනා කර තිබේ.

2017/11/30 සිට 2019 /02/21 දක්වා මාස 14ක කාලයක් සේවා දීර්ඝ කිරීමක් නැතිව අදාළ සේවකයන් වෙත වැටුප් හා අතිකාල ගෙවීම් සිදු කර තිබේ. අදාළ කාලය තුළ එම සේවකයන් සඳහා සේවා දිගු 03ක් ලබා දෙමින් ඔවුනට රුපියල් මිලියන 3.26ක් හෝ ඊට ආසන්න වටිනාකමක මුදලක් වැටුප් අතිකාල හා අනෙකුත් දීමනා ලෙස ගෙවීමට ආධාර අනුබල දීම තුළින් ආයතන සංග්‍රහය යටතේ හිටපු පරිපාලන නිලධාරි කුඩාහෙට්ටි මහතාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර තිබේ.

රුපියල් 3,267,045.62ක මුදලක් එම සේවකයන්ට ගෙවීම් සිදු කර ඇති හෙයින් ආයතන සංග්‍රහය යටතේ හිටපු ගණකාධිකාරී සිල්වා මහත්මියට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට සුදුසු යැයි යෝජනා කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරින් පස්දෙනා සිදු කර ඇති ක්‍රියාව මඟින් සංස්ථාවට රුපියල් මිලියන 42ක මූල්‍ය අලාභයක් සිදු කිරීමට ආධාර අනුබල දී ඇති බැවින් පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීමට සුදුසු යැයි යෝජනා කර තිබේ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT