ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් අද (07) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 59 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන ( Scan ) යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබේ .
මොහු අද උදෑසන 08.15 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා එදින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ගිනි අවි හෝ ඊට සමාන හැඩහුරුකම් ඇති දෑ හෝ ගිනි අවි වල අනුරූ ගුවන් මගින් ගෙන යාම සපුරා තහනම් වන අතර , එසේ විශේෂ අවශ්‍යතා සදහා රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතුය .
මෙසේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
මෙම ගිනි අවිය නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ පුද්ගලයා , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .