Home » කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය හදිසි නීරීක්ෂණයට

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය හදිසි නීරීක්ෂණයට

by yasara
December 7, 2023 1:10 pm 0 comment

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන්  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ හදිසි නිරීක්ෂණයට ඊයේ (06) රාත්‍රියේ ලක්විය.

ශල්‍යාගාර, වාට්ටු, ලේ බැංකුව, මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය  ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ පිළිබදව මෙහිදී අවධානය යොමු කරන ලද අතර, මෙම හදිසි නිරීක්ෂණයේ දී රෝගීන්ගේ X-Ray පරීක්ෂණ සහ CT Scan පරික්ෂණ සාමාන්‍ය පරිදි සිදුවන අයුරු නිරික්ෂණයට ලක් විය.

සමස්තයක් ලෙස හදිසි අනතුරු අංශයේ වැඩකටයුතු ඉතා හොදින් ක්‍රියාත්මකවන බව මෙහිදී නිරීක්ෂණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ප්‍රතිකාර සේවාවන් හි යෙදී සිටින විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල මහත් කැපවීමකින් යුතුව සිදු කරන සේවාව මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ  සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ඇගයීමට ද ලක් විය.

සිදු කරනු ලබන ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීම සදහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට ද මෙහිදී කටයුතු කෙරිනි.

මෙරට හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධානම අංශය ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය පෙන්වා දිය හැක. පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම අංශයට අසාධ්‍ය රෝගීන් මෙන් ම, අසාධ්‍ය නොවන රෝගීන් ඇතුළත් කරනු ලැබේ. අසාධ්‍ය රෝගීන් ශල්‍යාගාර ප්‍රතිකාර සඳහා යොමු කර, අසාධ්‍ය නොවන රෝගීන් වාට්ටු ප්‍රතිකාර සඳහා යොමුකර දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් ඒ සඳහා යොමු කෙරේ. මහා මාර්ග, නිවසේ, සේවා ස්ථානයේ, ක්‍රීඩා පිටියේ, හිංසන ක්‍රියා, වැටීම් සහ වෙනත් අනතුරු නිසා පීඩාවට පත් රෝගීන් මේ ඒකකයෙන් ප්‍රතිකාර ගනු ලබයි.

මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT