Saturday, May 10, 2025
Home » හොඳම පහට ඇවිත්

හොඳම පහට ඇවිත්

by gayan
December 7, 2023 1:00 am 0 comment

ආකර්ෂණය දිනා ගැනීම සඳහා සමහරෙක් තරග පැවැත්වෙන පිට්ටනි මැද්දට නිරුවතින් කඩා පනින්නාහ. සමහරෙක් උඩ සිට බිම බැලූ විට පරලවී යන, කුලුන උඩ සිට පහළට රූටන්නාහ. ඒ පුද්ගලානුබද්ධවය. රටක් ආකර්ෂණය වන්නේ ලෝකයකට හෙයින් එහෙම ‘සෝ ඉෂි’ ආකාරයෙන් ලෝකයක ආකර්ෂණය දිනාගත නොහැක්කේය. තෙල් පෝලිම්, පොදු ප්‍රවාහන සේවයේ බිඳ වැටීම්, ලිපි ගිනි දල්වන්නට ගෑස් හිඟවීම ආදී ව්‍යාධි දහසක් ඇති රටක් ලෙස මීට වසර දෙකකට පමණ පෙර අපි ලෝකානුකම්පාව දිනා ගත්තෙමු.

රාජ්‍ය නායකයා පෑල දොරින් පැන යන්නේ අගනුවර මැද්දේ තිබූ උද්ඝෝෂණයට මුහුණ දිය නොහැකිවය. එහෙව් රටක් දැන් ලබා ඇති ප්‍රගතිය ‘ට්‍රැවෙල් ඔෆ් පාත්’ සඟරාව හෙළි කර තිබේ. මේ සඟරාව වූ කලී මාසයකට මිලියන හයක් පරිශීලනය කරන සුපිරි ගණයේ සඟරාවකි. එහි නවතම සමීක්ෂණය හෙළි කරන්නේ, 2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇති බවය. සමීක්ෂණ ලෙස මේ රටේ සිදු කරන අතින් ගෙවා පළමු තැන ලබා ගන්නා රුපවාහිනී රේටින්ග්ස් කතා වැනි දේ අසා ඇති අපට මෙහෙම පොපියුලර් සංඛ්‍යා ලේඛන කියන විට ඒ ගැන දෙගිඩියාවක් ඇති වන්නේය. මේ රටේ තත්ත්වය එහෙම වුවද ලෝකයේ වැදගත් සඟරා හෝ මාධ්‍ය එහෙම සමීක්ෂණ අලෙවි කර, සාක්කුවට ගාණක් දමාගන්නේ නැත. සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් හෙයින් එහෙම කළ හොත් ඊළඟ වටයෙන්ම ‘කඩය වසා දැමීමට’ සිදුවන හෙයින් ඒවා සිය විශ්වාසවන්තභාවය සඳහා කැපවීමෙන් කටයුතු කරනවා මිස කාටවත් කඩේ යන්නේ නැත. එවන් සමීක්ෂණයක් ශ්‍රී ලංකාව ගැන එහෙම කියන විට අපට ඇත්තේ ආඩම්බරයකි.

මෙවන් සමීක්ෂණ සඳහා හොර පාරෙන් වෙනත් රටක් සිය නම ඇතුළත් කර ගන්නට වලි කෑමට හැකිය. අපේ රටට ඒවා මතක් වන්නේ ද ඔහොම නිවුස් එකක් අනුව අපි ‘ඔටෝම අප්’ වූ විට පමණය. අපේ රට ගැන පාරම් බෑම කෙසේ වෙතත් මේ රටේ තිබෙන එන්ජීඕ ආදිය, නැති ප්‍රශ්න ද උඩට ගෙන ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ‘ඇඳුම් උනා’ දමන හෙයින් ඔහොම උඩ යෑමක් අපට ලැබෙනවා කියන්නේ ‘සෝමාලියාවට පාන්’ දැමුවා සේ වැඩකි.

2023 වර්ෂය පුරාම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනා ගත් රටක් බවට ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ද කියන මේ සමීක්ෂණය අනුව අපේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය, හෙට දවසේ වඩාත් පිබිදීමකට ලක් වනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේය. ඕවා කියූ විට ‘රතු බඩු ටිකට’ ඉන්න හිටින්නට බැරි වෙනවා ඇත. මේ දවස් ටිකේම ඒ අයගේ ජොබ් එක වී ඇත්තේ පාර්ලිමේන්තු වටරවුමට වහල්ලු සෙට් එක බස්සවා, විරෝධතා පැවැත්වීමය. පොල්දූව හන්දියට සීයක්, දෙසීයක් ගෙන ආ විට, බත්තරමුල්ලේ ට්‍රැෆික් එක සහ පාර්ලිමේන්තු වටරවුමේ, කලර් ලයිට් අසල ඇති වාහන තදබදය සමඟ, දැනෙන තෙරපුමක් ළඟා කර ගත හැක්කේය. ඔය ආතල් යනු පොලිටිකලි ‘ඕල්ඩ් වර්ෂන්’ වන්නේ මුත්, මුන්ගේ රසවින්දනය තවම ඇත්තේ එතැනය.

රට අප් වන කල්හි පපුව කඩාගෙන වැටෙන, සියයට තුන හැරුණු කළ මේ රටේ අනාගතය පිළිබඳව සුබ සිහින දකින කවුරුන් හෝ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත පහ අතරට එක්වෙනවා කියූ විට සතුටු වෙන්නේය.

සතුට යනු මොහොතකින් කෙළවර වන දෙයක් හෙයින් සතුටට පත් වහාම, ඒ සතුට දිගටම පවත්වාගෙන යන්නේ කෙසේදැයි තීරණයක් ගත යුත්තේය. 2024 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පත්වූ සැණින්, කබ්බෝ ෆෝම් වුණා සේ උඩ පැන නතර වුවහොත්, ඒ කිරුළ වෙන රටකට, තව මාසයකින් දෙකකින් අත්වනු ඇත්තේය. එහෙම නොවෙන්නට නම් අපිට ද වැඩ ගොඩක් කළ යුතුව තිබේ.

ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් වාර්තා කළේ කොළඹ නගරය සහ බේරේ වැව සංවර්ධනය සඳහා වන සියලු සැලසුම් දෙසැම්බර් 15 වෙනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දෙන්නැයි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අදාළ බලධාරීන් වෙත නියෝග කළ බවය.

බේරේ වැව යනු තනිකරම, කුණු ඇළක් බඳු ගොහොරුවකි. එහි උඩින් ජලය පිරී ඇත්තේය. යටින් ඇත්තේ ටයර් වන් අබලි ද්‍රව්‍ය, තට්ටුවකි. බේරේ ලිය සුන්දර කිරීමට නම් මාර ගේමක් දිය යුතුය. මේකප් දමා උඩින් හැඩ කළද පැය කිහිපයකින් සමහර කාන්තාවෝ යක්ෂ පෙනුමෙන් නැවත මතු වන්නා සේ, එහෙන් මෙහෙන් හැඩ කළ පමණින් බේරේ ගඳ නෑරේය. බීමට හැකි මට්ටම දක්වා බේරේ වතුර ශුද්ධ කර, එය මුළුමනින්ම අලුත් කිරීමට ජපන් කොම්පැනියක් දැන් කැමැත්ත පළ කර තිබේ. සියල්ල නොමිලේ බැවින් වැඩේ ඇදෙනවා ද කියා, දිගටම බැලිය යුතුය. මේ රටට නොමිලේ දෙයක් ලැබෙන විට අතර මැද සිට ටිකට් කඩන බුවාලා සලිත වන්නාහ. ඔවුහු ප්‍රොජෙක්ට් දෙස බලන්නේ ‘ගාණ කපා ගැනීමේ’ වැඩක් ලෙසය. නොමිලේ යමක් ලැබෙනවා කියන්නේ, උන්ගේ ව්‍යාපාරය මුළුමනින්ම අහවරය. මේ නිසා ඔහොම වදින චාන්ස් සියල්ලම, බාල්දු වෙන පරිදි වැඩ කරන නිලධාරිහු ගැන්සියක් ද සිටිති.

අගනගර අලංකරණය දැන් බොහෝ දුරට සාර්ථක වැඩකි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන ලේකම් ලෙස ඒ උදෙසා ලබා දුන් නායකත්වය, හිටි අඩියේ නැවතී නොගියේ නම් අද කොළඹ යනු ලෝකයේ ලස්සනම නගරය ය. එහෙම තිබියදීත්, ‘කාව හරි එක්කගෙන එන්න පුළුවන්’ මට්ටමට කොළඹ තාම තිබේ.

බේරේ වැව වැනි විසඳාගත නොහැකි හිරිකිතයන් කිහිපයක් කොළඹ ඇති බැවින් ඒ සඳහා කඩිනම් සොලියුෂන් අප ගත යුත්තේ, අපේ නම්බුව ගැන පමණක් සිතා නොවේ. සමීක්ෂණයකින් අප ලෝකයේ හොඳම තැනක් යැයි කියූ ‘ට්‍රැවල් ඔෆ් පාත්’ සඟරාවේ නම්බුව ද අප බේරා දිය යුතු බැවිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT