Saturday, May 10, 2025
Home » කෘෂි ව්‍යවසායකයින් වැඩි කර රට තුළ නව ව්‍යාපාර අරඹමු

කෘෂි ව්‍යවසායකයින් වැඩි කර රට තුළ නව ව්‍යාපාර අරඹමු

by gayan
December 7, 2023 1:20 am 0 comment

කුසලා සජීවනී

ද වන විට සාකච්ඡාවට භාජනය වී ඇති කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, තරගකාරි කෘෂිකර්මය, අගය වැඩි කරන කෘෂි නිෂ්පාදන බිහිකිරීම සහ අපනයනය ඉලක්ක කරගත් කෘෂිකර්මය යන මේවා ඉතා හොඳ සංකල්ප වූවත් අලුත් සංකල්ප නොවේ. මෙම සංකල්ප කෘෂිකර්මයත් සමඟ බැදී පැවති ඒවා වූ අතර, අප විශේෂයෙන්ම කළ යුත්තේ අපේ කෘෂිකර්මය තරගකාරි මට්ටමකට රැගෙන ඒම සඳහා එම සංකල්පවල නව මානයන් ඔස්සේ කෘෂිකර්මය හැසිරවීමයි. උදාහරණයක් ලෙස ඉන්දියාව අද වන විට ඩිජිටල් කෘෂිකර්මය සහ නව කෘෂි ව්‍යාපාර පිළිබඳව කතා කරනු ලබයි. ඔවුන් ඩිජිටල්කරණය පිළිබඳව කතා කරන විට අපි කතා කරනු ලබන නව සංකල්ප ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතින බව පෙනේ. ඉතා ඉහළ, නවීන සංකල්ප අද වන විට අප අවට කලාපීය රටවල්වල පවා ක්‍රියාත්මක කරනු ලබයි.

කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවමින් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන වැඩිදියුණු කිරීමට අද වන විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අප අගය කළ යුතුය. පුද්ගලික අංශයේ වැඩකටයුතු කිරීමේදී නවීන තාක්ෂණය භාවිත කරමින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ වෙ‍ෙළඳ‍ ‍ෙපාළක් ඇති කර ගැනීමට ඉතා කැපවීමෙන් ඔවුන් වැඩ කටයුතු කරනු ලබන නමුත් අද වන විට රාජ්‍ය අංශයේ නිලධාරින්ට ඇත්තේ ඉතා අවම පහසුකම්ය. රාජ්‍ය නිලධාරින්ට නව පහසුකම් ලබා දෙමින් නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් ඔවුන් දිරිගැන්වීම බලධාරීන්ගේ යුතුකම විය යුතුය. කෘෂි විශේෂඥයන්, ගොවීන්, පෞද්ගලික අංශය සහ රජය යන සියලු දෙනා ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවට රජය විසින් නව යෝජනා ඉදිරිපත් කර තිබීම ඉතාමත්ම වැදගත් මෙන්ම ප්‍රශංසනීය කරුණකි. නමුත් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් අධීක්‍ෂණය කළ යුතුය. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, ගොවීන් සහ විශේෂඥයින් එකතු වූ පමණින් මෙම ව්‍යාපෘති සාර්ථක නොවන අතර, ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර එය ක්‍රියාත්මක කළ යුතුය. කුමන කේන්ද්‍රස්ථාන හැදුව ද ඒවා සෑදිය යුත්තේ ඒ සියලු ආයතනික රාමුව තුළ ගොවියාට සේවය සැලසෙන අයුරිනි. සැමගේම අරමුණ විය යුත්තේ ගොවියා තවදුරටත් පීඩාවට පත් නොකර ගොවියාට සේවය සලසමින් කෘෂි ආර්ථිකය දියුණු කරලීමය.

වෙ‍ෙළඳ‍ ‍ෙපාළ ඉල්ලුම

මේ වන විට අප නිෂ්පාදනය ආරම්භ කළ යුත්තේ විදෙස් වෙ‍ෙළඳ ‍ෙපාළ ඉලක්ක කරගනිමින්ය. අප සිදු කරනු ලබන නිෂ්පාදනවලින් විවිධ වර්ගයේ වෙනත් අතුරු නිෂ්පාදන සිදු කළ හැකි ආකාරය පිළිබඳව මෙන්ම විදෙස් වෙළෙඳ පොළ තුළ ඇති අවශ්‍යතා මොනවාද යන්න පිළිබඳවත් ගොවියා දැනුවත් කර උපදෙස් ලබා දිය යුතුය. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ දායකත්වය වඩා කාර්යක්‍ෂමව ලබා දිය යුතුය. උදාහරණයක් ලෙස භෝගයක් හරහා ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට පමණක් නොව එම භෝගය මඟින් අතුරු නිෂ්පාදන පිළිබඳව මෙන්ම විදෙස් වෙ‍ෙළඳ පොළ පිළිබඳව ද නව ව්‍යවසායකයින් දැනුවත් කළ හැකිය. මේ වන විටත් ගොවීන් ඕනෑ තරම් ඒ පිළිබඳව අපෙන් පවා විමසීම් කරනු ලබයි. පිටරටවල් සඳහා කෘෂි නිෂ්පාදන යවන්න ක්‍රම, මාසයකට අවශ්‍ය ප්‍රමාණ, විදෙස් රටවල් මොනවාද, වෙළෙඳ පොළ ඉල්ලුම ලැබෙන අයුරින් එය සකස් කළ යුත්තේ කෙසේ ද යන ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නම් අපේ ගොවිමහතුන් ඒ සඳහා නිතැතින්ම සූදානමින් සිටී.

අප රටේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන සාධකයක් වන කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම ඒ ඒ ප්‍රදේශවල ගොවි සංවිධාන වෙත පැවරීමට කර ඇති යෝජනාව ප්‍රායෝගිකව සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව ගැටලු පවතී. මෙම එල්ලංගා වැව් ගම්මාන පද්ධති අද කෘෂිකාර්මික ලෝක උරුමයක් ලෙස සැලකනු ලැබේ. ශ්‍රී ලංකාවේ ඇති එකම කෘෂිකර්මාන්තයේ ලෝක උරුමය මෙය පමණි. මෙම උරුමය ගොවීන්ට පමණක් බාර දීම ගැටලුසහගත නොවෙනවාම නොවේ. මෙම වැව් හා සම්බන්ධ වූ ගම්මු, කැලේ, සත්තු මේ සියල්ල එල්ලංගා පාරිසරික පද්ධතිය හා බැඳී පවතී. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබන අපට ද තාමත් මේ පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැති තරමට මෙය විශාල ව්‍යාපෘතියකි. තාමත් අපි ද ඒ පිළිබඳව හදාරමින් සිටී. ගොවි මහත්වරුන් සඳහා මෙය ලබා දීම පිළිබඳව කිසිදු විරෝධතාවයක් නොමැත. ලෝක උරුමයක් වූ මෙම එල්ලංගා පද්ධතියේ කටයුතු ගොවි සංවිධානයට තනිව සිදු කරගත හැකිද යන්න ගැටලුසහගතය. අතීතයේ දී එහි වතුර අයිතිය ආදී සෑම දේම රජයට පවරා ගත් අතර ගොවියාගෙන් ශ්‍රමය පමණක් ලබා ගත්තේය. මෙම වැව් ආශ්‍රිතව කෘෂි නිෂ්පාදන පමණක් නොව ආයුර්වේදය, විවිධ කර්මාන්ත යනාදිය ද පවත්නාගෙන යන ලදි. මේ සඳහා අවශ්‍ය බලය සහ සහාය ආණ්ඩුවෙන් ලබා දෙන බව කිව්ව ද ඒ කෙසේද යන්න පිළිබඳව පුළුල් අධීක්‍ෂණයක් සිදු කළ යුතුය.

හිතකාමී පරිසර පද්ධති

කිසිදු වගාවක් නොකර මුඩු බිම් ලෙස පවතින ඉඩම්වල වෙනත් වගාවන් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කරන බව ද අය වැයෙන් යෝජනා වී ඇත. පවතින බාධා ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්ද? යන්න ගැටලුසහගත කරුණකි. මෙම ඉඩම් වගා නොකරන්නේ කුමන හේතුවක් මූලික කොට ගෙන ද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. එමෙන්ම හිතුමතේට එහි භෝග වගා නොකළ යුතු අතර, විද්‍යාත්මක පදනමක් ඔස්සේ භූමි වගා කර නිසි අධීක්‍ෂණයකින් යුතුව එය සිදු කිරීමට වගබලා ගත යුතුය. මහා පරිමාණ කෘෂිකර්ම කටයුතු සදහා රාජ්‍ය ව්‍යවසාය සහ මහවැලි ඒ සහ බී කලාප, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්‍ෂ තුනක් වෙන් කරන බව ද අය වැයෙන් යෝජනා වී ඇත. මෙහි දී මහා පරිමාණ ලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් ලබා දීම මඟින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න සොයා බැලිය යුතු අතර, එයින් රටට අත්වන වාසි මොනවාද යන්නත් ප්‍රථමයෙන්ම සොයා බැලිය යුතුය. අදාළ පරිසර පද්ධතියට හිතකාමී, සමාජීය හා ආර්ථිකමය වාසි සැලසෙන ලෙස ව්‍යාපෘති සැලසුම් කරමින් මෙම මහා පරිමාණ කෘෂිකර්ම කටයුතු ආරම්භ කළ යුතුය. මෙම ඉඩම් ලබා දීම ඉතාමත්ම කල්පනාකාරී ලෙස සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස මුදල් ඇති අයෙක් වගා කටයුතු සඳහා මහාපරිමාණ ඉඩමක් ලබාගෙන යම් භෝගයක් වගා කර ටික කලකින් එම ව්‍යාපෘතිය නවතා දැමුවහොත් එයින් සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ලැබෙන විසඳුමක් එම ව්‍යාපෘති හරහා ලැබෙන්නේ නැත. සිදු වූයේ තවෙකෙකුට ඉඩමක් ලැබීමක් පමණි. කළ යුත්තේ මේ හරහා රටේ ව්‍යවසායකයින් වැඩි කර ගැනීමට කටයුතු කිරීමයි. ව්‍යවසායකයින් රට තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමත් සමඟ රැකියා වෙළෙඳ පොළ වැඩි වේ. එවිට තරුණ තරුණියන් පවා රට හැර යාම අවම කරගත හැකිය. තවද බදු ගෙවීම සම්බන්ධව අද වන විට විශාල ලෙස ගැටලු නිර්මාණය වී ඇති අතර, වක්‍ර බදු ගෙවීම් සම්බන්ධව මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. රට තුළ දියුණු ව්‍යාපාර පවතින්නේ නම්, හොඳ ව්‍යවසායකයින් සිටී නම් බදු පිළිබඳව ගැටලු සැලකිය යුතු අයුරින් විසඳා ගත හැකි වන්නේ එම ව්‍යවසායකයින් විසින් ඍජු බදු ගෙවීම් සිදු කරන බැවිනි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ව්‍යවසායකයින් ඉතාම අල්පය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා මෙවර අය වැයෙන් හෝ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවක් දක්නට නොමැත. ඉන්දියාව වැනි මහා පරිමාණ කෘෂිකාර්මික රටවල් ඒ සඳහා ඉඩම් ලබා දෙමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකයින් බිහි කරනු ලබයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ උපාධිධාරීන් අද වන විට බහුතරයක් දෙනා රටහැර යනු ලබන්නේ ඔවුන්ගේ උපාධියට සරිලන වැටුපක්, ඉහළ පිළිගැනීමක් සහිත රැකියා වෙළෙඳ පොළක් රට තුළ නොමැති බැවිනි. විදෙස් රටවල නව තාක්‍ෂණය සමඟ ඉදිරියට යා හැකි කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ උපාධිධාරීන් විශ්වවිද්‍යාලය මඟින් අපට බිහිකළ හැකි නම් ඔවුන්ගේ දැනුම කුසලතාවය අප රට තුළම රඳවා ගැනීමට කටයුතු කිරීම පාලකයින් සතු වගකීමකි. විරැකියාවට විසඳුමක් ලෙස රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින්, විදෙස් විනිමය ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදන බිහි කිරීමට සුදුසු තරුණ ව්‍යවසායකයින් පිරිසක් බිහි කළ යුතුය.

ව්‍යවසායකත්වය භාර ගැනීම

එසේ බිහි වන ව්‍යාපාර සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙමින් උපාධිධාරීන් බිහි කිරීම විශ්වවිද්‍යාලයන්හි ප්‍රධානතම පරමාර්ථයක් වේ. දියුණු රටවල විශ්වවිද්‍යාල තුළම හෝ අවට කර්මාන්තශාලා හෝ ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන අතර අදාළ ආචාර්ය, මහාචාර්යවරු එම කර්මාන්ත සඳහා උපදෙස් ලබා දෙන අතරම එම විශ්වවිද්‍යාලවල සිසුන් ද එම කර්මාන්තවලට අදාළ රොබෝ තාක්ෂණය, තාක්ෂණය, පසු අස්වනු තාක්ෂණය, නව නිෂ්පාදනය ආදියෙහි පර්යේෂණයන්හි නිරතවන අතරම අදාළ පුහුණුවීම් කටයුතු සිදු කරගනු ලබයි.

අප රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට විශ්වවිද්‍යාල සූදානම්ව සිටින අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ව්‍යවසායකත්වය භාර ගැනීමට සූදානම්ව සිටී. මෑත කාලයේදී රජරට විශ්වවිද්‍යාලයේ මෙන්, අනෙකුත් විශ්වවිද්‍යාලවල පිහිටුවා ඇති ව්‍යාපාර සම්බන්ධක ඒකක ව්‍යවසායකයින් පෝෂණය කිරීම සඳහා ගත් එක උත්සාහයකි. මෙහිදී විද්වත් ප්‍රජාව සහ කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධ කිරීම, නවෝත්පාදන සහ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීම, නව ව්‍යවසායකයින්ට අත්‍යවශ්‍ය වන ආරම්භක ප්‍රවේශයන්ට මූලික සහය, විශේෂඥ මඟ පෙන්වීම සිදු කෙරේ. මෙවැනි උත්සාහයන් තව දුරටත් දිරිමත් කර කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ විශ්වවිද්‍යාල මැදිහත් කරගනිමින්, නවීන තාක්ෂණය භාවිත කරමින් හොඳ, නිවැරදි මානව සම්පත භාවිත කරමින් පෞද්ගලික ව්‍යාපාර සම්බන්ධ කරගනිමින් දීර්ඝ කාලීන නිවැරදි සැලැස්මකට අනුව කටයුතු කිරීමට රජය සූදානම් නම් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව වැඩි ඈතක නොවනු ඇත.

රජය විසින් ඉදිරි සැලැස්මක් සකස් කොට පසුගිය කාලවල දී සිදු වූ අසාර්ථක දේ පිළිබඳව විවරණය කරමින් සිදු වූ අඩුපාඩු හඳුනා ගනිමින් එසේ වීමට හේතු සොයා බලමින් කෘෂිකර්මය දියුණු අනෙක් රටවලින් උපදෙස් ලබා ගනිමින් අප රටට, අද කාලයට ගැළපෙන සැලසුම් සකස් කිරීම කාලෝචිතය. එක් එක් පුද්ගලයන්ගේ අභිමතය පරිදි එක් එක් කාලවල දී වෙනස් නොවන දීර්ඝ කාලීන සැලසුම් සකස් කළ යුතුය. එවැනි විශ්ලේෂණ සිදු කරමින් සැලසුම් සකස් කරනු ලබන බවක් අප මින් පෙර දැක නොමැති බැවින් තොරතුරු, දත්ත, සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීම මෙහිදී වඩාත්ම උචිතය. මෙය, මහල් නිවාස ලබා දුන් පරිදි සිදු කළ නොහැක්කේ මෙය ඉතාම ගැඔුරින් අධ්‍යයනය කළ යුතු බැවිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT