චිත්‍රාගාරය මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය. පටිගත කරන අංශයේ සිට සංගීත අධ්‍යක්ෂවරයාත්, ගීත රචකයාත් ඉතාම උනන්දුවෙන් සවන් යොමා සිටිති. ගායකයාත් – ගායිකාවත් ගැයූ යුග ගීය නිමා වෙයි. ගායකයා, සංගීත අධ්‍යක්ෂකයාත් ගීත රචකයාත් වෙත එයි. අතක් ඔසොවමින් සංගීතඥයා සතුට පළ කරයි.
“මගේ හිතට නම් මදි හොඳ සිරියාවයි ආකාසේ කියන තැන ‘ආ’ යන්න සද්ද වුණා මදි කියලයි මගේ කල්පනාව.”
“මට නම් වරදින්න විදිහක් නෑ. ඒ වුණත්, තව එකක් අර ගනිමු එහෙනම්”
සංගීතඥයාගේ අවසරය ලත් විගසම ඔහු යළිත් ‘මයික්’ එක වෙත ළං වෙයි. ගායිකාවගේ ද සහය ඇතිව ඔහු එම ගීතය යළිත් ගයයි.
‘හොඳ සිරියාවයි ආකාසේ’
වාසනාවට ආදරේ
අපේ ආදරේ – ආදරේ – අප ආදරේ’
ගායනය නිම කළ ගායකයා සතුටු මුහුණින් එළියට එයි.
“ඒ ටේක් එක තමා හරියට ආවෙ. දාල බලමුද”
ගායකයා, ගීත රචකයා හා සංගීතඥයා අසා සිටියදී පටිගත කළ ගීතය ප්‍රතිවාදනය වෙයි.
ගායක ජෝතිපාලගේ මුහුණ පුරා සොම්නස උතුරා යයි. ඔහු ගීත රචකයාගේ ද සංගීතඥයාගේ ද ආශීර්වාදය ලබයි. ඔහු එසේ කළේ ගීත රචකයාගේද ගෞරවය ආරක්ෂා වන පරිදිය.
කවුද මේ ගීත රචකයා?
සිරිල් ඒ. සීලවිමලය. සංගීතඥයා පී.එල්.ඒ. සෝමපාලය. ගායක යුවළ ජෝතිපාල හා ඇන්ජලින්ය. චිත්‍රපටය ‘ස්වීප් ටිකට්’ ය. වසර 1964 ය. සීලවිමලයන් මේ සිද්ධිය පැවසුවේ ජෝතිපාල මිය ගිය අවස්ථාවේ දී “ඔහු ආවට ගියාට ගායනා නොකොට, ගීත රචකයාගේ ද ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කළ නිහතමානී ගුණය” සිහිපත් කරමිනි.
සිරිල් ඒ. සීලවිමල පුවත්පත් කලාවේදියෙකි, ගීත රචකයෙකි, කවියෙකි, ලේඛකයෙකි, නවකතා රචකයෙකි. පසු කලෙක පත්‍ර කර්තෘවරයකු ද විය.
සිරිල් අබේනායක සීලවිමල 1930 ඔක්තෝබර් 29 වෙනිදා පන්නල සඳලංකාවේ ඉරබඩගම දී උපත ලැබීය. මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ඉගෙනුම ලබා ඇත. ඔහුගේ පියා අබිලීනු අබේනායක වෛද්‍යාචාර්යවරයෙකි. තම පියා කිසි දිනෙක මත්පැන් පානය නොකළ, දුම්බීමෙන් තොර, මස් මාංස අනුභව නොකළ බව සීලවිමලයන් මාධ්‍යවේදී ලලිත් ප්‍රියංකරට කියා තිබුණි. කිසිදා වේවැලකින් නොතැළූ පියා ආදර්ශයෙන්ම දරුවන්, තමන් නංගි හා මල්ලි හැදු වැඩූ බව සීලවිමලයන් ගෞරවයෙන් පවසා ඇත.
සින්දු කාමරය
පාසල් යන කාලයේ සීලවිමලයන් නිසැදැස් කවි ලියා වී. අබේගුණවර්ධන කර්තෘත්වය දැරූ ‘පෙරමුණ’ පත්‍රයට යවා ඒවා පළ වී තිබුණි. ගීත රචනයේ ප්‍රවීණතාවක් දැක් වූ සිරිල් කොළඹ පැමිණ පදිංචිව සිටියේ ටවර් රඟහල ඉදිරිපස තිබූ ටවර් ෆ්ලැට් එකේ කාමරයකය. මේ ඒ කාලයේ ජනප්‍රිය වෙළෙඳ සේවයේ ගුවන් විදුලි ගායකයන් වූ ජෝතිපාල, මිල්ටන්, මොරිස් දහනායක, ෆ්‍රෙඩී සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ්, සිවනන්ද මෙන්ම නාට්‍ය නිෂ්පාදක ජී.ඩී.ඇල්. පෙරේරා ද ආවා ගියෝය. “සින්දු කාමරය” ලෙස ප්‍රකටව සිටි එහි තිබුණේ නිදියන ඇඳක් හා පුංචි ලියන මේසයක් පමණි. කවුරු හිටියත් නැතත් හිතවතුන්ට එය සැමවිටම විවෘතය. දොර ජනෙල් විවෘතය. සීලවිමල සිය කලා ජීවිතය ආරම්භ කර ඇත්තේ නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ජී.ඩී.එල්. පෙරේරාගේ ‘කඳුළු’ නාට්‍යයේ චරිතයක් ඔහු රඟපෑවේ බලවත් අකමැත්තෙනි. කඳුළු නාට්‍යයේ උපදේශකයා ද ඔහුට විය. ගීත රචනයට ඔහු පිවිසෙන්නේ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලවීරගේ ගුවන්විදුලි ළමා වැඩසටහන්වල ගීත ලිවීමෙනි. අයිරින් සිල්වා ගැයූ ‘මා හිමිපාණෝ’ ඔහු ලියූ ප්‍රථම ළමා ගීතය විය. ඒ අතර ගුවන්විදුලි විශේෂාංගය ද ලියූ ඔහුට වසන්තා සන්දනායක හා සරත් සන්දනායකට සරල ගීයක් ලිවීමට අවස්ථාව ලැබිණ.
සිරිල් ඒ. සීලවිමලයන්ට පුවත්පත් කලාවේදියකු වීමට අත හිත දුන් ගුවන්විදුලියේ තේවිස් ගුරුගේ විසින් අලුතින් ආරම්භ කළ ‘දවස’ පත්‍රයේ කතුවර ඩී.බී. ධනපාලයන්ට හඳුන්වා දෙන්නේය. 1961 වසරේ ප්‍රවෘත්ති ලේඛකයකු ලෙස ‘දවස’ පත්‍රයට බඳවා ගන්නා ඔහුගේ කුසලතා දිනෙන් දින වර්ධනය කර ගැනීම නිසා ‘දවස’ හා ‘රිවිරැස’ පුවත්පත් උප කර්තෘ තනතුරේ සිට වැඩිකල් නොගොස් ‘දවස’ පත්‍රයේ ප්‍රධාන කතුවරයා වීමට භාග්‍යවත් විය. ‘දවස’ පුවත්පතේ උප කතුවරයකු ලෙස සිටියදී 1962 මාර්තු 02 වැනිදා ලකිසුරු විලියම් ගොපල්ලව මහතා දිවුරුන් දුන් පසු හෙළ සිරිතට, බුදු සිරිතට අනුව පදිවියේ වැඩ භාර දුන් අවස්ථාවේ ඒ විචිත්‍ර අවස්ථාව කවියෙන් දවස පත්‍රයට ලිවීමට ධනපාලයන් භාර දුන්නේ සීලවිමලයන්ටය. මුල් කාලයේ සීලවිමල වැඩියෙන් ගීත ලිව්වේ තම පෙම්වතී පෙරේරා වෙනුවෙනි. ඒ වන විට සීලවිමලයන් ‘දවස’ පත්‍රයට ලියූ කවිවලට පෙම් බැඳ සිටි අනුලා නම් 1959 වසරේ පන්සලේ සිංහල පන්තියට ඉගෙනීමට පැමිණි දහසය හැවිරිදි සිසුවියට සීලවිමල නම් ගුරුවරයාගේ සිත ඇදී ගියේය. දිනක් ඇය තම මව සමඟ කොහේදෝ ගිය ගමනක දී ඇය චාම් ඔසරියක් හැඳ සිටි දැක්මෙන් විකසිත වූ සීලවිමල තම පෙම්වතිය වූ ඇය වෙනුවෙන් ගීතයක් රචනා කළේය.
‘ලස්සන ගංගා කුමාරියේ
යන්නෙ කොයිබද සවාරියේ
ඔයා නැළ වී නැළ වී හැඩ තාලේ
නිල් දිය ඔසරිය රැලි දාලා’
ගායනය – ආර්. සිවනන්ද
තම පෙම්වතිය ගැන සීලවිමලයන් වරක් අපට විස්තර කර තිබුණි. ඒක සංසාරගත ප්‍රේමයක්. මගෙත් අනුලාගේත් ආදරයට අපමණ බාධා පැමිණියා. වසර 7කට පසු 1963 මැයි 30 මම අනුලා විවාහ කර ගත්තා. ‘දවස’ ආයතනයේ මම සේවය කරන කාලේ සිංහල අලුත් අවුරුද්ද දිනටත් මම නිවාඩු ගත්තෙ නැහැ. රාජකාරිය දේවකාරියටත් වඩා ඉටු කළ මම විවාහ උත්සව දවසෙත් වැඩ කළා. මෙය දුටු ධනපාල මහතා මා ළඟට ඇවිත් කිව්වා ‘ඔයා කවදා හරි හොඳ පත්තරකාරයෙක් වෙනවා. සීලවිමල ඔයා වගේ විවාහය රෙජිස්ට්‍රර් කරලා කන්තෝරු ඇවිත් වැඩ කරන පත්තරකාරයෙක් මම දැකලා නෑ, කියලා එතුමා මට සුබ පැතුවාය. තම පෙම්වතියගේ කඳුළු දැකීමට සීලවිමලගේ හදවතේ සැඟ වී තිබූ ආශාව මතු කරමින් ඔහු අනුලාට ගීතයක් ලියා ඇත. මේ ගීතය එදා ගුවන්විදුලියෙන් ඇසූ පෙම්වතුන් හා පෙම්වතියන් අතර ඉමහත් ලෙස ජනප්‍රිය විය. මේ ගීතය ගැයුවේ මොරිස් දහනායක විසිනි. සංගීත නිර්මාණය පැට්‍රික් දෙනිපිටියගෙනි. ගීතයේ කොටසකි මේ.
‘සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න
මගේ ගීතවල පසු පස හිටියේ අනුලා, සිරිල් ඒ. සීලවිමල පුන පුනා කියා ඇත. ඔහු විසින් ලියූ මුල්ම චිත්‍රපට ගීතය එන්නෙ ‘දීපසිකා’ චිත්‍රපටයේය. පී.එල්.ඒ. සෝමපාලගේ සංගීතයට ලතා වල්පොළ විසින් ගැයූ ‘එන්නා කරුමේ ලුහු බැන්දා’ හා ‘කංකං බූරු සින් සින් නෝරු’ මේ ගීත දෙකය.
සීලවිමල විසින් ‘සුදු දුව’ චිත්‍රපටයට රචනා කළ හරූන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක ගැයූ මේ ගීතය සිනමා ලෝලයන් අතර තුඩ තුඩ තවමත් රැව් දුන් යුග ගීතයකි.
‘ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
හෝ…. ලොකේ ඔයා සතු ලොකු වස්තුව වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරි’
ඔහු චිත්‍රපට රැසකට ගීත රචනා කළේය.
‘සන්සුන් රුවන් හද මන්දිරේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ’
ගායනය – මිල්ටන් පෙරේරා / ශ්‍රීමතී තිලකරත්න (කේසර සිංහයෝ)
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලී
ගායනය – ජෝතිපාල/මිල්ටන්/බෙග්(දැන් මතකද)
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඬ දෙයි
ගායනය – ජෝතිපාල / ඇන්ජලීන් (සුහද පැතුම)
කොළඹ හාදයෝ, රන් ඔන්චිල්ලාව, සුළි සුළං, සිකුරුලියා, නයනා, යළි ඉපදේ, සමන්මලී, කුමර කුමරියෝ, කිඳුරු කුමාරි, දුටුගැමුණු ඇතුළු චිත්‍රපට කිහිපයකට ප්‍රේම ගීත, උපහාස ගීත, විනෝද ගීත, උපදේශ ගීත ලියූ ඔහු සර්ව සුබවාදියෙකි. ජීවත්ව සිටි කාලයේ ඔහු කිසි දිනක කිසිවෙකුගේ සිත් රිදවූයේ නැත. ගීත සොයමින් කිසිවෙකු පසුපස්සේ ගියේ නැත. උපහාස ගීත ලියූවත් අපහාස ගීත ලිව්වේ නැත. මා දන්නා පරිදි ‘සිරිල් අයියා’ නමින් මා ආදරයෙන් හැඳින්වූ ඔහු හැම විටම අව්‍යාජ සිනා රැල්ලකින් මුව සරසාගෙන සිටි අහිංසක මිනිසෙකි. නිවී පහන් වී ළය සැනහෙන ගීත ලිවීමට ඔහු ප්‍රිය, ගුවන්විදුලි ගීතයක් ලෙස ප්‍රකට වූ මොරිස් දහනායකට ලියූ මේ ගීතය හොඳම සාක්ෂියකි.
‘මෙත් මල් පිබිදේවා
සිත් තුළ – මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා – සිත් තුළ
කරුණා ඉතිරේවා
මේ ගීතය සීලවිමලයන්ගේ ජීවන තේමාව විය. ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මේ ගීයේ සංගීත රචකයාය. එවැනිම ශ්‍රාවකයන් අතර ප්‍රකට සරල ගීත දෙකක් ඔහු වික්ටර් රත්නායකයන්ට ලියා දුන්නේය.
‘මෝහෙන් මුළා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ දේවේෂ පාරේ
මිනිහා කොහේද මේ’
‘රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබලේවා’
මේ වික්ටර් ගැයූ තවත් ගීතයකි.
‘ළිඳෙන් වතුර බීලා – එයින් වතුර නාලා
ළිඳට ගල් ගසාලා – වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි – මිනිසා ගඟට ආවඩයි’
මේ ගීත දෙකේම සංගීත රචකයා ආර්. ඒ. චන්ද්‍රසේනයන්ය. සීලවිමලයන් විසින් රචිත මෙවැනි සරල බසින් කාටත් කොළයක් බලා නොගෙන අපට මතකයෙන් ගායනා කළ හැකි ‘ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා’ (ගායනය – ජෝතිපාල) ‘කවුරුත් මොකවත් කීවා ද?’ (ගායනය -සිවනන්ද) ගීත ඔබත් අසා ඇති. තම ප්‍රථම ගුවන්විදුලි ගීතය ලියවා ගැනීමට ෆ්‍රෙඩී සිල්වා දුවගෙන ගියේ සීලවිමල නැවතී සිටි ‘සින්දු කාමරයට’ය. සීලවිමල නොමසුරුව ෆ්‍රෙඩීට උපහාසාත්මක ගීතයක් ලියා දුන්නේය.
‘මමයි මොට්ටපාල දොට්ට දැම්මා පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම්වලින්
වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
එදා පටන් මමත් – මගේ කොණ්ඩය වැව්වා’
ෆ්‍රෙඩී හා ඇන්ටන් ජෝන්ස් ගැයූ ගල්කිස්ස ගැන සීලවිමලයන් ලියූ මේ ගීත එදා අතිශයින්ම ජනප්‍රිය බයිලාවලට සමීප ගීතයකි.
‘ගල්කිස්සේ මුහුදු වෙරළේ
ඉරිදට ගිහින් බලන්න
ලස්සන තරුණ ළමයි කිඳුරියො වාගේ
වෙරළට ගෙන එනවා මංගල යෝගේ
අත්වැල් අල්ලා අල්ලා – මූදට පැනලා
නානව ඈත පීනලා’
සීලවිමල විසින් ලියන ලද නවකතාවකි ‘සඳලතා’. ‘සඳ නුදුටු පිනි’, ‘සිත ඇඳි රේඛා’, ‘ජීවිත මාවත’ සෙසු කෘතීන් වෙයි. ලලිත් ප්‍රියංකර විසින් සීලවිමල මතක සැමරුම්’ සංග්‍රහය කෘතියත්, සීලවිමලගේ ප්‍රිය බිරිය අනුලාවන් විසින් සංග්‍රහයන් ලෙසින් නිකුත් කළ ‘සීලවිමල ගීත ප්‍රබන්ධ’ (1 සහ 2) කෘති ද, සීලවිමලයන්ට කළ උපහාරයක් වෙති. සීලවිමලට හා අනුලාවන්ට පුතුන් තිදෙනෙකු ද දියණියක් ද සිටී.
සීලවිමලයන්ගේ ජීවන දැක්ම ‘සඳලතා’ නවකතාවෙන් මොනවට පැහැදිලි වෙයි.
‘සංසාර ගමනේ මේ ජීවිතයත් එක්තරා නවාතැන්පොළකි. ශරීර කූඩුවට රිංගාගෙන අප මේ නටන්නේ කුමන නෛයියාඩගමක් ද? උගත්කම, නම්බුව, ප්‍රසිද්ධිය, ධනය, දියුණුව යන නාමයෙන් අප උදුරාගෙන සිටින්නේ පරාජයන් ය. අප දිනුමක් යයි සිතන්නේ ආත්මය පිරිහීමක් නොවන්නේ ද? රස තෘෂ්ණා, ආශා දැලේ පැටලී පැටලී මායාවෙන් මුළාවෙන් අන්ධ වී සිටින අපි ඉටු නොවන අරමුණක් කරා දුවන්නෝ නොවෙමු ද? ’
සිරිල් අබේනායක සීලවිමල යනු සත්ගුණවත්, නිහතමානී, මහත්මා ගුණ ඇති අපූර්ව මානව හිතවාදී මිනිසෙකි. 2010 දෙසැම්බර් 04 වෙනිදා මේ ගීත රචක, පුවත්පත් කතුවරයා ජීවිතයෙන් සමුගන්නා විට අසූ වසර පසුකර තිබුණි.
ඒ. ඩී. රන්ජිත් කුමාර