Home » මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පවතී

එදවස මතක

by gayan
December 7, 2023 1:00 am 0 comment

නික්ම යන සකිසඳුන් වෙත සමුදිය හැකි හොඳම ආකාරය ඔහු ජිවත් වූ සමයේ සිදුකළ මෙහෙවර අගය කිරීමය. සුමින්ද සිරිසේන, කලා ශක්‍යතාවෙන් අනගිය. එසේම ඔහුගේ මිත්‍ර සමාගම ද අනර්ඝය. සුමින්ද අසනීපයෙන් පසු වූ කාලයේ ඔහුගේ මිත්‍ර සංස්ථාව ඔහුගේ සුව දුක් බලනු රිසියෙන් සිරිසේන නිවෙස බලා ගියහ. කලාකරුවෙක් අසරණ වූ වහාම ඒ ගැන සොයා බලා කැපවීමෙන් කටයුතු කරන සද් ජනයන් අතර ප්‍රමුඛයා බුද්ධදාස ගලප්පත්ති හූය. හේ එවන් සුව දුක් විමසීමේ චාරිකාවක් සුමින්ද සිරිසේන නි‍ෙවස වෙත ද සංවිධානය කළේය. ඒ ගමන පිළිබඳව ආසන්න දිනක දිනමිණ පුවත් පතේ පළවූ ලිපිය සුමින්ද කියවන්නට ඇත. මේ එම ලිපියේ යළි පළකිරීමකි. එය කියවන්නට සුමින්ද අද නැත.

අපි නිදහස් දවසේ නිදහසේ ඔහු මුණගැසුණෙමු. හෝරා පහකටත් වඩා වැඩි කාලයක් ඔහු සමඟ නිදහසේ කතාබහ කළෙමු. ගී ගැයූවෙමු. පුරාණ ආගිය කතා, නාට්‍ය චාරිකා අතරතුර, පුහුණුවීම් අතරතුර සිදු වූ හිනා ගිය කතා ආවර්ජනය කළෙමු. ඇතැම් කතාවක් අග ඔහු සිනාසෙයි. අපි ද සිනාසෙමු. ඔහු ආයාසයකින් තොරව, වේදිකාවේ හෝ පුංචි තිරයේ රැඟුමක දී මෙන් සැහැල්ලුවෙන්, සොම්නසින් සිනාසෙනු අපට පෙනිණ. ඔහු එලෙස සැහැල්ලුවෙන් සතුටින් සිනාසෙනු දැකීම නොවද අප හැමගේ අපේක්ෂාව වූයේ? ඔහු කවුද කියා මෙන් ම අප කවුරුන්ද යන්නත් කීමට දැන් කාලය එළැඹ තිබේ.

ඔහු බුලත්ගමුවගේ සුමින්ද සිරිසේන හෙවත් සුමින්දයි. ඔහු තෝලන්ගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අකුරු කරනා සමයෙහි, ඔහුට අපූරු ගුරුවරු දෙදෙනෙක් හමු වී තිබේ. පළමුවැන්නා සිංහල විෂය ඉගැන්වූ ආරියවංශ රණවීරයි. දෙවැන්නා සංගීත විෂය භාරව සිටි දයා අල්විස් ය. කිවියර රණවීර සේ ම නළුවර දයා අල්විස් ද අපගේ අතිජාත මිතුරන්ය. දැන් අප කවුරුන්ද කියා හඳුන්වාදීමේ වාරයයි. අප කණ්ඩායමම එක් සමූහවාසී වචනයකින් හැඳින්වුවහොත් අපට පවසන්නට සිදුවන්නේ චරිතාංග නිරූපණයෙහි ප්‍රතිභාන්විත, නළුවර සුමින්දගේ සද්ජන, වේදිකා නාට්‍ය මිත්‍ර සමූහය අප සැම වන්නෙමු කියායි. අප මිතුරු සමාජයේ ඇතැමෙක් ඔහු සමඟ වේදිකා නාට්‍ය නිර්මාණ චාරිකාවේ දී හමුවූවන් වූ අතර තවත් අයෙක්, වේදිකා නාට්‍ය මෙන් ම රූපවාහිනී නාට්‍ය සමඟ ද එක්වූවෝ වෙති. රන්ජිත් ධර්මකීර්තිගේ හස්තිරාජ මහත්තයා, හිරු නැති ලොව හෝ නාමෙල් වීරමුනිගේ වන්සක්කාරයෝ නාට්‍ය අංග රචනය සඳහා ඔහුගේ මුහුණ මා අතට පත් වේ. මනමෙ, සිංහබාහු හෝ මහාසාර වැනි නාට්‍යයක ඊට හාත්පසින් ම වෙනස් වූ වෙස්ගැන්වීමක් සඳහා ද, සුමින්දගේ මුහුණ මා වෙත ඇදේ.

සුමින්ද සිරිසේන

ඉදින් ඔහු පිළිබඳ ලියන්නට, කතාබහ කරන්නට අපට හෝ ඔහු හා එක්ව රඟ පෑ සහෝදර සහෝදරියන් සතු අයිතිය පිළිබඳ කුමන කතා ද? මහාසාර නාටකයේ රජ බිසව අනුලා බුලත්සිංහල සමඟ හිරු නැති ලොව හි මනෝ, දිගා සමඟ රෝමය ගිනි ගනී නාටකයේ දී රත්නා ලාලනී සමඟ එමෙන් ම, ගජමන් පුවත වැනි නාට්‍යයක දී චන්ද්‍රසෝම බින්දුහේවා හා තවත් නාට්‍ය රැසක දී හමු වූ ලාල් කුලරත්න, ෆර්නි රෝෂිණි, මාලි ජයවීර, කුමාර ලියනගේ, සුමින්දගේ ගමන් සගයා හෙවත් වේදිකා සගයා වන රොඩ්නි වර්ණකුල ස්වර්ණවාහිනී ඇන්ඩ් කොම්පැනියේ කීර්ති ආදීහු ද අප සමඟ වූහ.

බණ්ඩාර ඇහැළියගොඩ නම් වූ සන්මිත්‍රයා සමඟ සංගීතඥ රංජිත් බාලසූරිය, ඔහු බිරිඳ ශිරාණි ජයන්තිමාලා, චන්ද්‍රපාල ජයසුන්දර, අනූෂ පීරිස් ආදීන් ද සුමින්ද මිත්‍ර සමාජයේ සාමාජිකයෝ වූහ. ප්‍රවීණ නාට්‍යකරු දයානන්ද ගුණවර්ධන පුතණු නාට්‍යවේදී වසන්ත ගුණවර්ධනයන් ද අපගේ සද්ජන සමාජයේ සාමාජිකත්වයේ වීය. අපි කිසිවකු එදින රෝගී වූ සුමින්ද සිරිසේන නම් පුද්ගලයකු නොදුටුවෙමු. මුව පුරා ඉතිරී පැතිරී ගිය සිනාවෙන් යුතුව ප්‍රසන්න හැඟුම් පිරි මුහුණින් යුතු වූ සුමින්ද නව පණක් ලද ජීවියකු ලෙස ප්‍රබෝධවත්ව සිටියේය.

පෙබරවාරි 4 නිදහස් දිනට දින කිහිපයකට පෙර බණ්ඩාර ඇහැලියගොඩ මිතුරාගෙන් දුරකතන ඇමතුමක් ලැබේ. “මචං අපි කට්ටිය හතරවෙනිදට සුමින්දලගෙ ගෙදර යන්න හිතන් ඉන්නවා. උඹත් ඒ කට්ටිය අතරෙ ඉන්නවා…” ඔහු ඇමතුම අවසන් කරන්නට පෙර සෙසු පිරිස පිළිබඳ ප්‍රශ්න කළෙමි. නාමාවලිය කටපාඩමින් කියාගෙන ගිය බණ්ඩාරට තවත් ප්‍රශ්නයක් වූ බව මාහට පැවසීය. “මචං ගම්පහ ගිහින් එන්න වාහනයක් තිබුණොත් ඒකට ‍යන වියදමත් ඉතිරි වෙනවා. නැද්ද දන්න අඳුනන කවුරු හරි, අපිට ඩීසල් ගහගෙන හරි යන්න පුළුවන් වාහනයක්…” මට ටික වෙලාවක් දීපන්කො යැයි පැවසූ මම දස අතේ කල්පනා කළෙමි.

සැණෙකින් අවශ්‍යම කටයුත්තකට විශ්වාසයෙන් යුතුව එවන් ඉල්ලීමක් කළහොත් නොවැරදීම ඊට සුබවාදීව පිළිතුරු දෙන මිතුරා සිහියට නැඟිණ. අවශ්‍ය වූයේ එක් දුර ඇමතුමක් පමණයි. “මම ළඟ ආශ්‍රයක් නෑ. නැත්නම් මටත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නත් තිබුණා, ඒකට කමක් නෑ ෆිෆ්ටීන් ෂටර් වෑන් එකක් සවරින් එක ළඟට එවන්නම් උදේ නවය වෙනකොට.” අපගේ මිත්‍ර සමාජයේ ප්‍රබල සාමාජිකයෙක් වන සුනිල් ෆොන්සේකා මගේ ඉල්ලීමට කොන්දේසි විරහිතව කන් දුන්නේ ය.

අප සමාජයට ප්‍රතිචාර දැක්වූයේ ය. දරන්නට සිදුවන විය පැහැදමෙන් අප මුදවාලීම සුමින්දගේ වාසනාවට සිදුවූවක් යයි මට හැඟිණ. වාහන ප්‍රශ්නය විසඳිනැයි යන පුවතින් සියල්ලෝ අමන්දානන්දයට පත් වූහ.

රාජගිරියේ සවරින් හෝටලය අසලින් මාතලී සුරේෂ් සමඟ ගමන් ඇරඹූ රියෙහි මනෝරත්න, දිද්දෙණිය, ලාල් කුලරත්න, ඔහු බිරිඳ ශ්‍රියාණි හා දියණිය, රත්නා ලාලනී, චන්ද්‍රසෝම බින්දුහේවා, අනුලා බුලත්සිංහල ආදීහු වූහ. මහාචාර්ය සමන්ත හේරත් ද, සුමින්ද බැහැදකින්නට යාමට එකඟව සිට පසුව සරසවියේ විභාග කටයුතු බැවින් කනගාටුව පළකර තිබිණ. බණ්ඩාර ඇහැලියගොඩ මිතුරා නියමුවා මාලබේ දී කණ්ඩායමට එක් වීය. ලීලා, සුමින්ද ගේ සෙවණැල්ල සේ ඔහු රැකබලා ගන්නා බිරිඳ, දෙපුතුන්, පරිගණක වැඩසටහන් අධ්‍යක්ෂ, ගයාරංග හා වෘත්තීය ඡායාරූප ශිල්පී නන්දිත සුමින්ද හා එක්වී උණුසුම් ආදරයෙන් අප පිළිගත්හ. පෙරවරු එකොළහ පමණ වන විට රොඩ්නි හැරෙන්නට අන් සියලු දෙන සුමින්ද ගේ කැදැල්ලේ ය. සුමින්ද මුහුණ පුර පෝදාවක පිපුණු සඳවතක් සේ ආලෝකවත් වී තිබෙනු මම දුටුවෙමි. දෑස් තුළින් ගලා ආ කාන්තියෙහි වූයේ තමා මෙවන් මිතුරු කැලක් ලැබීමට තරම් වාසනාවන්තයෙක් වී ද යන්න වැනි හැඟීමකැයි මට සිතුණි. මෙවන් හමුවක මතක සටහන් වූ සේයා රූ කිහිපයක් හෝ සටහනක් හෝ ඉතිරි වේ නම්, ඉන් සුමින්දගේ සිතට සතුටක්, සැහැල්ලුවක් ලැබේ යයි සිතූ බැවින් ගමන පිළිබඳ සරසවිය කර්තෘ අරුණ ගුණරත්නට පැවසූ සැණින් සගයන් දෙදෙනකු ගම්පහට එවන්නට ඔහු පිළිණ දුන්නේය.

සරසවියේ ප්‍රසාද් සමරතුංග මාධ්‍ය සගයාත්, අමිත් සේනාරත්න සේයා රූ නිර්මාණකරුවාත්, ඔවුන්ගේම මඟ වියදමින් සුමින්දගේ නිවහනට පැමිණ ඔහුගේ ජීවිතයේ, ඔහු ගත කළ සුන්දර මිත්‍ර හමුවක තොරතුරු ද සේයා රූ ද එක්කොට ගත්හ. සුපුරුදු ලෙස මනෝ , දිගා, රත්නා, අනුලා ප්‍රමුඛ ගායන වෘන්දය අන්න බලන් සඳ රන් තැටියෙන් ගීයෙන් නාට්‍ය ගී සත්කාරයෙන් සුමින්ද පිනවීම ඇරඹී ය. මොහොතකින් අමුත්තන්ගේ ගායනා සඳහා විරාමයක් ලබා දෙන්නට සිදුවූයේ අනපේක්ෂිතවය.

මේ නම් කිනම් අරුමයක් දෝ හෝයි අපි මවිතයට පත් වීමු. ඔහු ආසා කළ ගී ගයන ලෙස අපගෙන් ඉල්ලීමක් කරමින්, ගායනාව අරඹන ලද්දේ සුමින්ද විසින්ම වීම නිසායි අප මවිතයට පත් වූයේ. පෙම්බර දේවී මගේ පණ හා සරි, හරිමි රජ සැපා මම ලක්දිව තී නිසා වැනි ගී එකදු වචනයක් හෝ නොවැරදි, ඒවායේ නිසි තාලයට ස්වර ස්ථාන රඳවමින් රංජිත් බාලසූරියගේ සංගීතයට අපූරුවට එක්වෙමින් සුමින්ද ගැයූ විලාසය අදහාගන්නටත් නොහැකි වීය.

එක් වරම ඔහු ගිලන් වී, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට පැමිණි මොහොතේ, සුමින්ද දුටු මට සිතුණේ, යළි සුමින්දගේ ගායනය, රංගනය අපට හිමි නොවේය කියායි. එදා ඔහුගේ මතකය එතරම්ම දුර්වලව තිබිණ. එහෙත් මෙය නොවේද ඔහුගේ ජීවිතයේ අසිරිමත්ම ප්‍රාතිහාර්යය? අත් වාරුවක් අවශ්‍ය නොවුණා නම්, ගීත ගායනයේ දී රැඟුමට එක් වූ ෆර්නි රෝෂිණී සමඟ සුමින්ද රඟනු නිසැක යයි අපට සිතුණි. සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ හි ප්‍රධාන භූමිකාවට පණ පොවමින් ඔහු විසින් ගයන ලද ගී සුමින්දගේ මතකයට ආවේ ඉන් පසුවය. සිංහල හටන් කාව්‍ය සාහිත්‍යයේ ජනප්‍රිය ගීයක් වූ, යුද්දෙටත් ගිහින් සිඳුපිට නැව් නැගලා – පරංගි – උන් නමුත් කොළඹට ගොඩ බැහැලා යන ගී තනුවටම සෝමරත්න දිසානායක විසින් ලියන ලද නව ගීතය සුමින්දගේ හඬින් අප සවනට මතු නොව හදවතට ද එක්කළ සතුට, මිහිර මේ යයි කිව නොහැකි ය.

“පොත් හතක් අටක් දැනටත් ලියා දීලා

තියෙනවා

මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා

පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ

ඒකයි

ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ”

ජෝන් ද සිල්වා රඟහලේ දී මීපුර වැසියෝ නැරඹූ රාත්‍රිය මට සිහිවිය. එදත් අදත් අතර එකම වෙනස වූයේ, එදා මෙන් රඟමඬල මත දුටු සුමින්දගේ රංගන ක්‍රියාකාරකම දකින්නට නොලැබීම පමණි. ඔහුගේ ගායනය අප සැම දශකයටත් වඩා දීර්ඝ අතීත ස්මරණ කරා කැඳවාගෙන යාමක් බඳු වීය. ගජමන් පුවත යුගාසන ගී රත්නා ලාලනී, නිශ්ශංක දිද්දෙණිය ගේ හඬින් සුමින්දගේ සිත් තුටු පහටු කරන්නට ගැයුණු කල්හි දී කිරි දී කිරි ගෙනාව දී කිරි ගයමින් රතු හැට්ටකාරි අනුලා බුලත්සිංහල සුමින්දට මානසික සුවය ලබා දුන් සත්කාරයෙහි පංගුකාරියක වූවා ය. ෆර්නි රෝෂිණී කෙළිලොල් යෞවනියක සේ රඟමින් ගයමින් සුමින්දට මානසික සුවය සතුට ලබා දුන්නා ය. සිංහබාහු, මනමෙ, ගජමන් පුවත, අන්දරේලා හා තවත් නාට්‍ය හී මතු නොව චන්ද්‍රසෝම බින්දුහේවා ගැයූ චිත්‍රපට ගීත ද සුමින්ද මිතුරු සමාජයෙන් ඔහුට පිරිනැමු‍ණු තිළිණ වීය.

හමුව අතරමැද පැමිණි රොඩ්නි දිවා ආහාරය තෙක් ගායන වෘන්දය සජීවීව තැබුවේය. දයානන්ද ගුණවර්ධන පුත් වසන්ත ගුණවර්ධන තම මව් අයිරාංගනී ගුණවර්ධන සමඟ සුමින්දගේ මිතුරු හමුවට මහඟු දායාදයක් එක්කොට තිබුණේ ඉතා රසවත් දහවල් ආහාර වේලක් පිළියෙල කොට සැපයීමෙනි. සුමින්ද නිදහස් දා විඳි සතුටක් වේ නම් ඊට හිමිකරුවන් අතර ඔවුන් ද නවීන වෙස්සන්තර භූමිකාව රඟන සහෘද ප්‍රේම් දිසානායක ද සහෘද සුනිල් ෆොන්සේකා ද සිටින බව අමතක කළ නොහේ.

බුද්ධදාස ගලප්පත්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT