Sunday, May 11, 2025
Home » සැහැල්ලු ගුවන් යානයක් උඩු ගුවනේදී කඩා වැටීමට සලස්වා වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරලා

සැහැල්ලු ගුවන් යානයක් උඩු ගුවනේදී කඩා වැටීමට සලස්වා වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරලා

අමෙරිකානු යූ ටියුබ්කරුට මාස 6ක සිරදඬුවම්

by gayan
December 7, 2023 1:00 am 0 comment

තමා පදවමින් සිටි සැහැල්ලු ගුවන් යානය වුවමනාවෙන්ම කඩා වැටීමට සලස්වා ‘විව්ස්‘ වැඩි කර ගැනීමට එය වීඩියෝගත කර සිය යූ ටියුබ් චැනලයට දැමූ අමෙරිකානු යූටියුබ්කරුවකුට එරට අධිකරණයකින් මාස 6ක සිර දඬුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. 30 හැවිරිදි ට්‍රෙවර් ජේකොබ් නමැති මේ යූටියුබ්කරුවා 2021 වසරේ දෙසැම්බරයේදී එම ගුවන් යානය කඩා වැටීම ඔහුගේ යූ ටියුබ් චැනලයෙන් විකාශය කර ඇත්තේ එය සැබෑ අනතුරක් බවට ප්‍රකාශ කරමිනි.

ඉහළ අහසේදී ඔහු පදවමින් සිටි සැහැල්ලු ගුවන් යානයෙන් පැරෂූටයක් මඟින් පහළට පැන ඇති අතර, පසුව නියමුවකු රහිතව පියාසර කළ එම ගුවන් යානය අනතුරට ලක් වීම ඔහු අත තිබූ සෙල්ෆි ඡායාරූප ආධාරකයෙන් වීඩියෝ ගත කර ඔහුගේ යූ ටියුබ් චැනලයෙන් විකාශය කර ඇතැයි හෙළි වී තිබේ.

එවකට ප්‍රේක්ෂකයන් මිලියන ගණනාවක් නැරඹූ එම යූ ටියුබ් වීඩියෝව සම්බන්ධව ඔහු පොලිස් විමර්ශකයන් ද නොමඟ යවා ඇතැයි වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට ගොනු කර තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ජේකොබ් ප්‍රකාශ කර ඇත්තේ එය නිෂ්පාදන සමාගමක් සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත සිදු කළ බවය. පැමිණිල්ලේ නීතිඥයන් මෙය අපරාධයක් බවට තර්ක කළ අතර, පසුව විනිසුරු ජේකෝබ් වරදකරු බවට තීන්දු කරමින් සිය නියෝගය නිකුත් කර ඇතැයි වාර්තා වේ.

කැලිෆෝනියාවේ සැන්ටා බාබරා ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කළ ඔහුගේ සැහැල්ලු ගුවන් යානයේ ද කැමරා සවි කර තිබූ බවත්, ගුවන්ගත කර මිනිත්තු 35කට පසු එය ලොස් පැඩ්‍රිස් ජාතික වනෝද්‍යානයට කඩා වැටීමට සලස්වා ඇති බවත් වාර්තා වේ. දින කිහිපයකට පසු ඔහු හෙලිකොප්ටරයක් මඟින් අදාළ ස්ථානයට ගොස් ගුවන් යානයේ සුන්බුන් විනාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. පොලිස් විමර්ශන ආරම්භ වීමෙන් පසු අදාළ වීඩියෝ පටය ඔහුගේ යූ ටියුබ් චැනලයෙන් ඉවත් කර ඇති අතර, ඒ වන විට එය නැරඹු ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා තිබූ බවත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT