Home » පාකිස්තානයෙන් පිටවීමේ දේශසීමාව වසා දමයි

පාකිස්තානයෙන් පිටවීමේ දේශසීමාව වසා දමයි

නීත්‍යනුකූල ලියකියවිලි නැති ඇෆ්ගන් සරණාගතයන්ට

by gayan
December 7, 2023 1:00 am 0 comment

ඇෆ්ගනිස්තාන සරණාගතයන්ට රටින් පිටවන ලෙස පාකිස්තාන රජය විසින් නිකුත් කරනු ලැබූ නියෝගයට අනුව දෙරට අතර ටෝකාම් දේශසීමාව ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගන් සංක්‍රමණිකයන් පාකිස්තානයෙන් පිට වුවද, විදේශ ගමන් බලපත්‍ර සහ වීසා වැනි නීත්‍යනුකූල ලියකියවිලි නැති පුද්ගලයන්ට එම දේශසීමාව වසා දැමීමට පියවර ගෙන ඇතැයි ද ඇෆ්ගනිස්තානයේ කාමා පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පාකිස්තානයට ගිය ඇෆ්ගනිස්තාන රෝගීන් විශාල ප්‍රමාණයක් දුෂ්කරතාවට පත්ව ඇතැයි ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ තොරතුරු හා සංස්කෘතික දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සිකුරාදා පාකිස්තාන රජය මේ පියවර ගෙන ඇති බවය. විදේශීය ගමන් බලපත්‍ර සහ වීසා නොමැති ඇෆ්ගනිස්තාන ජාතික රෝගීන්ට එම දේශසීමාව තරණය කිරීමට ඇෆ්ගනිස්තාන මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් පසුව මීට පෙර අවසර ලැබී තිබිණි.

ඇෆ්ගනිස්තානයේ රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිළිකා රෝගීන් වාර්ෂිකව අසල්වැසි රටවල, විශේෂයෙන් පාකිස්තානයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බව මීට පෙර වාර්තා වී තිබිණි. පාකිස්තානය මේ පියවර ගෙන ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් බව අවධාරණය කරමින් සරණාගතයන් නෙරපා හැරීමේ ක්‍රියාවලිය නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මීට පෙර පාකිස්තානයට දැනුම් දී තිබියදීය. ඉදිරියේදී දරුණු ශීත කාලයක් උදා වන බැවින් පාකිස්තානයෙන් නෙරපා හරිනු ලැබූ ඇෆ්ගනිස්තාන ජාතිකයන් දෙරට අතර දේශසීමාව අසල එක්රොක් වීමෙන් උග්‍ර මානුෂීය අර්බුදයක් සිදුවනු ඇතැයි ද වාර්තා වේ. ඇෆ්ගනිස්තාන සරණාගතයන් නෙරපා හැරීම නතර කිරීම සම්බන්ධව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පෙත්සම පසුගියදා පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ සමාලෝචනය කිරීම ද ආරම්භ කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT