මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 16 දක්වා කාලය ඇතුළත පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ දරුවන් 19 දෙනකු ආගමික අපහාස චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළ වන නිවුස් පුවත් සේවය වාර්තා කළේය. අත්අඩංගුවට පත් දරුවන් අතුරින් 6 දෙනකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බවත්, සෙසු අය නිදොස් කොට නිදහස් කර ඇතැයි ද නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පාකිස්තානයේ නීති දැනුවත් කිරීමේ සංවිධානය පන්ජාබ් තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ අභියාචනාවකට අනුව එම ප්‍රාන්තයේ බන්ධනාගාර පරීක්ෂක ජෙනරාල්වරයා විසින් එම සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර ප්රමිතීන් හා සම්මුතීන් පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් පාකිස්තානයේ බොහෝ දරුවන් සාධාරණ නොවන නඩු විභාගයකින් බන්ධනාගාරගත වන බවත්, වසර 2018 ළමා යුක්තිය පසිඳලීමේ පනතට අනුව එම දරුවන්ට ඔවුන්ගේ බාලවයස්කාරභාවය තහවුරු කිරීමට අවසර ලැබී නැති බවත් එරට නීති දැනුවත් කිරීමේ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.