කල්මුණේ ඉස්ලාම්බාද් ළමා ආරක්ෂක නිවස්නයේ අධිකරණ නියෝගයක් මත රඳවා සිටි ඒ.ටී. දර්ශන් නමැති 17 හැවිරිදි දරුවා ළමා නිවාසයේ පාලිකාවක විසින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හා පොලිසියට දැනුම්දී ඇත්තේ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.
සොරකමක් සම්බන්ධයෙන් මඩකලපුව කොකුවිල් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම දරුවා අධිකරණ නියෝගයකින් නොවැම්බර් 17 වැනිදා මෙම ළමා නිවාසයට යොමු කර තිබිණි. මෙම දරුවා කොකුවිල්හි පදිංචිකරුවෙකි.
ළමා නිවාසයේ රඳවා සිටි මෙම දරුවා පසුගිය 30 වැනිදා ළමා නිවාසය තුළ මියගොස් සිටියේය. ළමා නිවාසයේ බලධාරීන් පොලිසියට පවසා තිබුණේ අසනීප තත්ත්වයක් මත ඔහු මියගොස් ඇති බවය. දරුවා පහර දීමකින් මියගොස් ඇති බව හෙළිවන්නේ මරණය සම්බන්ධයෙන් දෙසැම්බර් 02 වැනිදා කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය. ඒ අනුව කළ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ළමා නිවාසයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබිණි. කොසු මිටකින් සහ යකඩයකින් දරුවාට පාලිකාව පහරදී ඇති බව එහිදී කියැවිණි.
ගයාන් කුමාර වීරසිංහ