Home » උපාධි අපේක්ෂක සිසුවා පැහැරගෙන ඉඩමක්-මෝටර් රථයක් බලෙන් ලියාගන්න හදලා

උපාධි අපේක්ෂක සිසුවා පැහැරගෙන ඉඩමක්-මෝටර් රථයක් බලෙන් ලියාගන්න හදලා

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක සිසුහු තිදෙනෙක් අත්අඩංගුවට

by gayan
December 7, 2023 1:00 am 0 comment

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උපාධියක් හදාරණ 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගි මෝටර් රථයක් ද සමඟ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉඩමක් ලියා ගැනීමට තැත් කළ වෙනත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොහුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණ.

පැහැර ගැනීමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පැහැර ගත් මෝටර් රථය ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සිය මෝටර් රථයෙන් පැමිණ සිය පියාව ඇරලවා නැවත නිවෙසට පැමිණ අවශ්‍යතාවක් සඳහා කළුබෝවිල ආසිරි මාවතේ නිවෙසින් පිටව යමින් සිටියදී මෙම සිසුවා ඉකුත් 4 වැනිදා පැහැර ගැනීමට ලක්ව තිබේ.

දෙහිවල නගර සභාව ආසන්නයේදී සිසුවා ගමන්ගත් සුඛෝපභෝගි මෝටර් රථයට වෑන් රථයක් මඟ හරස් කර එයින් බැස ආ තරුණයන් සිව්දෙනකු මෝටර් රථය පදවාගෙන ආ සිසුවාව වෑන් රථයට දමාගෙන පැහැරගෙන ගොස් තිබිණි.

අනතුරුව කළුබෝවිල රෝහල ආසන්නයේදී එම පිරිස වෑන් රථය, අසල නිවෙසක දමා පැහැර ගත් මෝටර් රථයට සිසුවාව නැවත නංවාගෙන මාතලේ නිවෙසකට රැගෙන ගොස් එහි සිර කරගෙන සිසුවාගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩම හා පැහැරගත් මෝටර් රථය ලියා දෙන ලෙස පවසමින් තර්ජනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැහැර ගැනීමට ලක්වූ සිසුවා මේ බව ජංගම දුරකතනයෙන් සිය මවට පැවසීමෙන් අනතුරුව මව සහ සහෝදරයා කොහුවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිසුවා පැහැර ගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියාව පොලිසියට ගෙන්වා ඔහු ලවා සැකකරුට දුරකතන ඇමතුමක් දී උපක්‍රමශීලීව කොහුවලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පැහැර ගැනීමට ලක් වූ සිසුවාගේ පියා හා පැහැර ගැනීම සිදු කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී සිදු කළ හවුල් ව්‍යාපාර කටයුත්තකදී ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල කළුබෝවිල පදිංචි වයස අවුරුදු විසිදෙක හා විසිතුන අතර පසුවන්නෝය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.ඩී. නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල, පොලිස් කොස්තාපල්වරුන් වන (23941) ලසන්ත, (91438) නානායක්කාර යන මහත්තුරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT