එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වැනි සමුළුව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය (Sri Lanka Youth Statement to COP28) ශ්‍රී ලංකා තරුණ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පිළිගන්වනු ලැබීය.
දේශගුණික විපර්යාස හේතුවෙන් සිදු වන බලපෑම මෙන්ම ඊට ගත හැකි විසඳුම් ඇතුළත් ප්‍රධාන නිර්දේශ 10කින් මේ තරුණ ප්‍රකාශනය සමන්විත වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් තරුණ තරුණියන්ට දීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී තරුණ නියෝජනය පුළුල් කිරීම, පරිසර සංරක්ෂණය හා ජෛව විවිධත්වය සුරැකීම සම්බන්ධයෙන් ගත යුතු හදිසි මෙන්ම වැදගත් ක්‍රියාමාර්ග රැසක්ද මෙමඟින් අවධාරණය කර ඇත.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, බෝධි මාතුර මහතාගේ නායකත්වයෙන් ෆාතිමා ශම්ලා, සන්දෙව් ෆර්ඩිනැන්ඩෝ සහ තරුෂි වීරසිංහ මහත්ම මහත්මීන්ගේ සාමාජිකත්වයෙන් පිහිටුවනු ලැබූ කමිටුවක් මඟින් මේ ප්‍රකාශනය කෙටුම්පත් කරනු ලැබීය.
මෙහිදී පසිඳු ගුණරත්න මහතා ජනාධිපතිවරයා හමුවේ සඳහන් කළේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දේශගුණික විපර්යාස පිළිබඳ පැවැත්වූ විශේෂ තරුණ පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙන්ම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සිසු සිසුවියන් සහ ප්‍රථම දේශීය තරුණ සමුළුවට (Inaugural Local Conference of Youth) සහභාගි වූ තරුණ තරුණියන් ඉදිරිපත් කළ යෝජනා හා අදහස්ද මේ ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේ කාර්යයේදී වඩාත් වැදගත් වූ බවයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 28 වන සමුළුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කළ මෙම ශ්‍රී ලංකා තරුණ ප්‍රකාශනය පසුගිය දෙසැම්බර් 02 වැනිදා ඩුබායිහිදී පැවති එම සමුළුව අතරවාරයේ සංවිධානය කළ ශ්‍රී ලංකා තරුණ වැඩසටහනේදී පසිඳු ගුණරත්න මහතා විසින් එළිදක්විණි. ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව අතිසාර්ථක ලෙස පැවති මේ ශ්‍රී ලංකා තරුණ වැඩසටහන ජාතික තරුණ සේවා සභාව, ජනාධිපති ලේකම් කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලය සහ පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබිණි. එසේම මේ සමුළුවට එක්ව සිටි තරුණ නියෝජිත කණ්ඩායම රජයේ කිසිදු අරමුදලක් භාවිත නොකිරීමද විශේෂත්වයකි.
අදාළ තරුණ ප්‍රකාශනය http://www.nysc.lk/youthstatements.pdf ඔස්සේ පරිශීලනය කළ හැකිය.