වැසි සමයත් සමඟ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය වන බැවින් ඒ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
සෞඛ්‍ය රාජ්‍ය ඇමැති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී පෙරේදා (5)පැවැත්වණු අවස්ථාවේදී ඔහු මේ උපදෙස් දුන්නේය.
කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් සිදුව ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර, රාජ්‍ය ආයතන, බෝට්ටු අංගණ, පාසල් ඇතුළු පොදු ස්ථානවල වාහක අභිජනනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවද සඳහන් කෙරිණි.
මේ තත්ත්වය පාලනයට ත්‍රිවිධ හමුදාවේද සහාය ඇතිව කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙස සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා පොලිසියටද උපදෙස් දුන්නේය. රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් ජනාධිපති කාර්යාලය මඟින් ලිපියක් නිකුත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
එසේම ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල එක්ව මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලෙසද සාගල රත්නායක මහතා උපදෙස් දුන්නේය. මේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට එළැඹෙන සඳුදා ඩෙංගු මර්දන ඒකකය නැවත රැස්වීමටද තීරණය කරනු ලැබීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා කොළඹ මහා නගර සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.
ශිරෝමි අබයසිංහ